ටෙලි නාට්‍ය ශිල්පී තරිඳු විජේසිංහගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම තාවකාලිකව අත්හිටුවයි

ටෙලි නාට්‍ය ශිල්පී තරිඳු විජේසිංහගේ මරණයට හේතුව
ප්‍රකාශ කිරීම තාවකාලිකව අත්හිටුවයි

ජනපි‍්‍රය ටෙලි සහ සිනමා නළුවෙකු වන තරිඳු විජේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. පුංචිතිරයේ චාතුර්යා සුදුසේල, කුරුළු පිහාටු, පතිණි, දූ කුමාරියෝ, සොඳුරු වසන්තය සහ රෝස දිගන්තය වැනි ටෙලි නාට්‍ය ඇතුළු චිත්‍රපටි රැසක රඟපා සිය සහජ කුසලතා දැක්වූ විසිහත් හැවිරිදි තරිඳු විජේසිංහ මහතාගේ මරණ පරීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී පැවැත්විණි. මරණ පරීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විජේසිරි ගමගේ මහතා විසින් පැවැත් වූ අතර, මෙහිදී සාක්කි දුන් සජනි ඉෂාරා අබේසේකර (27) මෙනෙවිය මෙසේ පැවසුවාය.

“මිය ගොස් ඇත්තේ මා විවාහ වීමට සිටි තරිඳු විජේසිංහ යන අයයි. මා දෙමාපියන් හා සහෝදරියන් සමඟ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටිනවා. මියගිය තරිඳු දැන හඳුනාගෙන වසරක් පමණ වෙනවා. මා දන්නා තරමට ඔහු මීට කලකට පෙර විවාහ වී එම විවාහයෙන් වෙන් වී සිටිනවා. ඔහු නීතියෙන් වෙන් වී තිබෙනවාද කියා ස්ථිර වශයෙන් කීමට දන්නේ නැහැ. ඔහු විවාහ වී ඇත්තේ ඔහුගේ ගම වන කළුතර නාගොඩ ප්‍රදේශයෙන් බව දන්නවා. මිය ගිය තරිඳු ටෙලි සහ සිනමා ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියා.

මිය ගිය තරිඳු විජේසිංහ

මා දන්නා තරමින් ඔහුට වසර පහක පමණ කාලයක සිට දියවැඩියා රෝගය සෑදී එයට ප්‍රතිකාර ගනිමින් සිටියා.  පසු ගිය දිනවල රෝගය උත්සන්න වී ඔහු ෆාමසිවලින් ඉන්සියුලින් ගෙන ඔහුම විද ගත්තා. ඒ නිසා රෝගය තරමක් දුරට අඩු වූ බව මා සමඟ පැවසුවා. තරිදු අපගේ නිවසට පැමිණ සිටියදී මිය යාමට පෙර දින රාත්‍රි ඔහුට වමනය යාමට පටන් ගත්තා. ඒ සඳහා ඔහු බෙහෙත් කිසිවක් ගත්තේ නැහැ. පසු දින සුව වී තිබුණත් එදින උදෑසන තරිඳු ආහාර කිසිවක් ගත්තේ නැහැ. අනතුරුව මා ඇපල් ගෙඩියකින් කෑලි දෙකක් කපා දුන්පසු තරිඳු එය කෑමට ගත් අතර මඳ වේලාවකින් එළවළු සුප් ටිකක් සාදා බොන්නට දුන්නා.

එදින රාත්‍රිය ද තරිඳු අප නිවසේ සිටි අතර පසු දින අලුයම 5.30ට පමණ මා නිදා සිටි කාමරයට පියා පැමිණ කිව්වා තරිඳුගේ ඇඟ සීතල වී ඇති බව. අනතුරුව අක්කාග් විවාහ වී සිටින චාලින්ද අයියාත්, පියාත් එකතු වී තරිඳුව රෝහලකට රැගෙන ගියා.  මඳ වේලාවකින් රෝහලේ සිට පියා දුරකථනයෙන් කථා කර කිව්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කරන විටත් තරිඳු මිය ගොස් සිටි බවට වෛද්‍යවරුන් පවසා සිටි බව. අනතුරුව මම රෝහලට පැමිණ තරිඳුගේ සිරුර බලන විට ඔහුගේ සිරුරේ මුහුණපුරා ද ගෙල ආශි‍්‍රතව සහ ඇඳුම්වල කළු පැහැති යමක් තැවරී තිබුණා. එසේම තරිඳුගේ මරණයට හේතුව කීමට දන්නේ නැහැ. මේ නිසා මරණය සම්බන්‍ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

මෙහිදී ශාන්ති අබේසේකර (73) කමලසිරි විජේසිංහ (54) යන අය ද සාක්කි දුන්නේය. පශ්චාත් මරණ පරීක්‍ෂණය දකුණු කොළඹ ( කළුබෝවිල) මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි එස්. ආර්. පී. සමරනායක මහතා විසින් සිදු කරන ලදී. ඉදිරිපත් වූ සාක්කි විමර්ශනය කර, වෛද්‍ය වාර්තා අනුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්‍ෂා කිරීමට නියෝග කර සිටි මරණ පරීක්‍ෂකවරයා මරණයට හේතුව ප්‍රකාශයට පත් කිරීම තාවකාලිකව අත්හිටුවන ලදී. තලංගම පොලිසියේ පො. සැ. ( 56897) හේරත් සහ ජයවර්ධනපුර රෝහල් පොලිසියේ පො. කො. (60647) සුමිත් යන මහත්වරු සාක්කි මෙහෙය විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා