භාෂාව ගැන මම තවම ඉගෙන ගන්නවා

භාෂාව ගැන මම තවම ඉගෙන ගන්නවා

-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

හින්ද ප්‍රසාද් මස්ඉඹුල‘හිරුත් හිමපියල්ලක’ නම් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් පාඨක හදවත දිනූ දක්ෂ කවියෙකි. ඔහු කාව්‍යකරණයෙන් ඔබ්බට ගොස් නවකතාව යන මාධ්‍යයට ද පිවිස සිටියි. ඔහු ලියූ ‘සෙංකොට්ටං’ නම් කුළුදුල් නවකතාව මෙම මස 31 වැනිදා පස්වරු 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩී. එදිනට සුමින්ද කිත්සිරි ගුණරත්න, චූලානන්ද සමරනායක, සුනේත්‍රා රාජකරුණානායක යන විද්වතුන් දෙසුම් පැවැත්වීමට නියමිතය. මේ ‘සෙංකොට්ටං’ නවකතාව පිළිබඳ ඔහු සමඟ කළ සංවාදයකි.

* ඔබගේ ප්‍රථම නවකතාව වන ‘සෙංකොට්ටං’ සඳහා කතා තේමාව ලෙස කුලය කියන කාරණය තෝරා ගැනීමට විශේෂ වූ හේතුවක් තිබුණද?

මීට කාලයකට පෙර කුලය කියන සාධකය අපේ සමාජයේ යම් පෙරළියක් කළ සාධකයක්. වර්තමානය වන විට කුලය කියන සාධකයට ඒතරම්ම වටිනාකමක් හිමි නොවන බව ඇත්තයි. නමුත් කුලය කියන සාධකය නිසා ඒ කාලයේ සමාජයේ විසූවන් බොහොම මානසික පීඩනයට ලක් වුණා. ඔවුන් ලක් වූ මේ පීඩනය පිළිබඳ අපේ නිර්මාණ ඔස්සේ කතා බහ කිරීමකට ලක් වුණේ බොහොම අඩුවෙන් බවයි මගේ හැඟීම වන්නේ.

නවකතාව, කෙටිකතාව, කවිය, සිනමාව, ටෙලිනාට්‍ය කියන මේ කුමන මාධ්‍ය තුළ දී වුණත් ඒ කාරණය එසේමයි. මට අවශ්‍ය වුණේ ඒ අන් අයගේ වඩාත් අවධානය යොමු නොවුණු ස්පර්ශ නොවුණු මානය ස්පර්ශ කිරීමටයි. ‘සෙංකොට්ටං’ නවකතාව මා අතින් ලියැවෙන්නේ මා ඉහත කියූ කාරණාව මූලික කර ගෙනයි.

මා අදහස් කළ කාරණය කොයිතරම් දුරට මේ කෘතිය ඔස්සේ කතාබහට ලක්වුණා ද කියන්න තීරණය කළ යුත්තේ පාඨකයන්. එය පාඨකයන්ට අයත් කාර්යයක්.

* රත්නපුර ප්‍රදේශය හා ඈඳුණු මේ කතාව ඔබගේ සිතෙහි පිළිසිඳ ගත්තේ ඔබට ලැබුණු අත්දැකීමක් ආශ්‍රයෙන්ද?

මම ඉපදෙන්නේ රත්නපුර ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ තිබුණු ජනවහර, ජනශ්‍රැති, ගැමියෝ කියන මේ සියලු දේ මට නුහුරු දේ නෙවෙයි. ඒ ප්‍රදේශයේ ජීවත් වුණු කෙනෙක් විදියට ඔවුන් පිළිබඳ මා නිරතුරුව ම විමසිල්ලෙන් සිටියා. මේ අදහස මගේ සිතේ පිළිසිඳුණාට පස්සේ ඒ සඳහා අවශ්‍ය පරිසරය සොයමින් මා ඇවිද්දා.

ඒ අවට ප්‍රදේශයේ ඊට අවශ්‍ය සාධක නොතිබුණත් විවිධ කාරණා සොයාගෙන යද්දී මගේ ප්‍රදේශයෙන් ලැබුණු බොහෝ දේ මට ප්‍රයෝජනවත් වුණා. මා සොයාගත් කරුණු පෙළ ගැස්වීමේ දී මගේ ප්‍රදේශයෙන් ලැබුණු අත්දැකීම් මට පහසුවක් ගෙනාවා. මේ අතර තිබෙන සමහර සිදුවීම් කතාව ගොඩනැඟීමේ දී ගත්තේ මා විසූ පරිසරයෙන්.

* ඔබව පාඨකයන් හඳුනා ගන්නේ කවියෙක් ලෙසයි. නවකතාව කියන ප්‍රකාශන මාධ්‍ය ඔබ තෝරා ගන්නේ කවියෙක් ලෙස පැවසීමට නොහැකි වූ යම් කාරණයක් පැවසීමට ද?

එසේ පවසන්නට නොහැකි වූ කාරණයක් පැවසීමට නොවෙයි මා නවකතාව කියන මාධ්‍යය තෝරා ගත්තේ. ප්‍රවෘත්තියක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා ප්‍රස්තුත වන්නේ සිනමාව කෙටි කතාව කියන මාධ්‍යයන්ට හසු නොවුණු යම් පරාසයක්. මේ යම් කාරණයක් පිළිබඳ කවියෙන් කියැවෙන පරාසයට වඩා වෙනස් වූ පරාසයක් නවකතාව ඔස්සේ කතාබහ කළ හැකියි. නවකතාව සතු ඒ පරාසය නිසා මා ඒ මාධ්‍ය තෝරා ගත්තා.

* චරිත විකාශනය පිළිබඳ අවධානය යොමු කළොත් නවකතාව අවසානයේ දී ඔබ ඉක්මනින් අවසානය වෙත ළඟා වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ ඇයි ?

නවකතාකරුවෙක් විදියට මට කතාව දිගින් දිගට ගෙන යමින් කතාව දිගු කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද නවකතාව ඔස්සේ කතාබහ කළයුතු, කිවයුතු කාරණා සියල්ල පවසා අවසාන යැයි කියන අදහස මගේ සිතින් බල පැවැත්වුණු කාරණයක්. ඒක සාර්ථක වුණා ද නැද්ද කියන කාරණය වෙනමයි.

කතාව දිගු කිරීමට වඩා ව්‍යංගයෙන් කීම හෝ කතා උපක්‍රමයක් ලෙස එම ක්‍රමය භාවිත කිරීමට මා උත්සාහ කළා කිව්වොත් නිවැරැදියි. ඒ කතා උපක්‍රමය යම් කෙනෙකුට වෙනස් ආකාරයට දැනෙන්නත් පුළුවන්. නමුත් මගේ අදහස වුණේ කතාව දිගු කරමින් අනවශ්‍ය යාන්හෑලි ලියනවා වෙනුවට සරලව හා අවශ්‍ය දේ පමණක් යොදා ගනිමින් නවකතාව රචනා කිරීමයි.

* තාරුණ්‍යයේ සිටින ඔබ නවකතාවට පිවිස සිටින නවක තරුණ පිරිස පිළිබඳ තිබෙන්නේ මොනවගේ අදහසක් ද?

නවකතාවට පිවිසෙන හෝ පිවිසි තරුණ පරපුරෙහි මේ මාධ්‍ය පිළිබඳ පිබිදීමක් පෙනෙන්නට නැහැ. කවිය, වේදිකා නාට්‍ය වැනි කලා මාධ්‍යයන්ගේ පිබිදීම ගත්තොත් නවකතාව කියන්නේ තරුණයින්ගේ අඩු අවධානයට යොමුවුණු කලා මාධ්‍යයක්. එදා පටන් අද දක්වා ම අප කියවන්නේ එකම ලේඛක නාමාවලියකගේ පොත් පමණයි. මේ කාරණය ඉදිරියේදීවත් වෙනසකට ලක්විය යුතුයි. නවකතාව කියන මාධ්‍ය සඳහා තරුණ පිරිසගේ දෙනෙත් විවර විය යුතු කාලයයි මේ.

* එනමුත් අද වෙළෙඳ පොළ දෙස විමසිල්ලෙන් බැලීමේ දී තරුණ තරුණියන් ලියූ නවකතා රැසක් දක්නට ලැබෙනවා.

මා මේ කතා කළේ කවියට සාපේක්ෂවයි. අද වෙළෙඳ පොළේ ඕනෑතරම් නවකතා දකින්නට ලැබෙන බව ඇත්තයි. එනමුත් එම නිර්මාණ පිළිබඳ විමසිල්ලෙන් බැලීමේ දී එහි ඇති සරල බව, වගේම එකම රාමුවකට කොටු වූ නවකතා දකින්නට අපට පුළුවන්. සුළු පිරිසක් පමණක් කියවන එවන් නවකතා සීමා වී තිබෙන්නේ එක්තරා පිරිසකට පමණයි.

* සාහිත්‍යයේ දී යොදා ගන්නා භාෂාව පිළිබඳ ඔබ දරන්නේ කුමන මතයක්ද?

නවකතාවක වඩාත් ම වැදගත් තැනක් හිමිවන අංගයක් වන්නේ භාෂාවයි. සාහිත්‍යයේ දී භාෂාව ඒ තරමට ම වැදගත්. සාහිත්‍යයෙහි දී භාෂාව යෙදිය යුත්තේ සරලවයි. මා නවකතාවේ දී භාවිත කළේ සරල භාෂාවයි. භාෂාව සරලවීම හා නිවැරැදි වීම යන කාරණා සඳහා සාහිත්‍යයේ දී නවක අපගේ අවධානය යොමුවිය යුතුයි. නවකතාවට නවකයෙක් නිසා තවමත් ඉන්නේ මා බස පිළිබඳ ඉගෙන ගනිමින්. අවසාන වශයෙන් මගේ පාඨකයන්ට යමක් කියන්න අවශ්‍යයි. ඒ මගේ කුළුදුල් නවකතාව දොරට වඩින දිනයට එහි පැමිණෙන්න කියායි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා