උපදේශ පුස්තක ත්‍රිත්වයක ගුණ සුවඳ

උපදේශ පුස්තක ත්‍රිත්වයක ගුණ සුවඳ

සතිස්චන්ද්‍ර එදිරිසිංහ

රංගන ශිල්පියකු ලෙස මහජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටින කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් රචනා කළ නව උපදේශ පුස්තක ත්‍රිත්වය ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී අද (29) සවස 3.30ට දොරට වඩී. මේ සටහන ඒ නිමිත්තෙනි.

“ජීවිතය දෙස නව නෙතකින්”, “සාර්ථක ජීවිතයකට සාරවත් සිතිවිලි” , “ආදරය සහ විවාහය” නමැති මේ පුස්තක ත්‍රිත්වය දොරට වැඩුම සහ “සුවඳ පද්ම” උපහාර සම්මාන ප්‍රදානය මිහිඳු සංස්කෘතික පදනමේ තෙවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වේ.

රංගන ශිල්පියකු ලෙස මහජන සිත් දිනා ගත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ලේඛන කලාවට යොමු වන්නේ 2004 වසරේ දී ය. ඇඟලුම් ක්ෂේත්‍රයේ මිත්‍රයකු වන කරූ හීනටිගල මහතාගේ ආරාධනා පරිදි ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන්ට දේශනා පැවැත්වීමට එදිරිසිංහයන් ඉදිරිපත් විණ. යථාර්ථය අවබෝධ කර ගනිමින් යහපත් ජීවිතයකට මඟ සලසා ගන්නා ආකාරය පිළිබඳ දේශනා පැවැත්වූ එදිරිසිංහයන් ග්‍රන්ථ රචනයට ද පෙළැඹිණ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අතින් පොත් රැසක් ලියැවිණ. “අප සතු මිණිමුතු 1 සහ 2, කළගුණ, අපේ තාත්තා, අපේ අම්මා, යහපත, ඔබ තවමත් ප්‍රමාද නැත., කට වටකර වැට, නායකත්වය (ශිෂ්‍ය නායක නායිකාවන්ට), කාර්ය සාධන නායකත්වය (වැඩිහිටියන්ට)” ඔහු අතින් රචිත සෙසු ග්‍රන්ථයන් ය.

ජීවිතය පිළිබඳ යථාර්ථවාදී ලෙස වැටහීමක් ඇති කර ගැනීම සහ පුද්ගලයා සතුව පවතින කුසලතා නැත්නම් ප්‍රතිභාවන් හඳුනාගෙන එය තව දුරටත් වර්ධනය කර ගැනීම යනාදී කාරණා දෙකට අනුව කටයුතු කිරීමෙන් පුද්ගලයාගේ දුප්පත්කම නැති කර ගත හැකි බව එදිරිසිංහයන්ගේ මතයයි. එම කාරණාවන් තවදුරටත් අර්ථවත් කරමින් එදිරිසිංහයන් අතින් නවතම ග්‍රන්ථ ත්‍රිත්වය ලියැ වී ඇත.

තමාසතුව පවත්නා දැනුම තව දුරටත් වර්ධනය කර ගනිමින් යහපත් ආකල්ප හා සාරධර්ම පවතින සමාජයක් බිරි කිරීමට අත හිත දීම එදිරිසිංහයන්ගේ අරමුණ වී තිබේ. යහපත් විනයක් සහිත වූවකුට යහපත් දර්ශනයක් ඇතිව ජීවත් විය හැකි බව ඔහුගේ අදහසකි. “අඳුරට සාප නොකරමින් එක පහනක් හෝ දල්වන්න” යන කියමන සනාථ කරමින් හෙතෙම සමාජයේ අඩුපාඩුකම් දැක ඒවාට දොස් පවරමින් නොසිට සමාජයට වැඩදායී කටයුත්තක් සිදු කළ බව පවසයි. ඒ ග්‍රන්ථ රචනයයි.

මිහිඳු සංස්කෘතික පදනමේ තෙවනසංවත්සරය නිමිත්තෙන් පවත්වන මේ ග්‍රන්ථ ත්‍රිත්වයේ දොරටවැඩුම සහ “සුවඳ පත්ම” උපහාර සම්මාන ප්‍රදානය සම්මානනීය මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

රට ඇය වෙනුවෙන් කළ මෙහෙවරට “සුවද පත්ම” උපහාර සම්මාන ප්‍රදානය සිදු කෙරේ. සිංහල භාෂාවේ උන්නතිය හා සන්නෝනි කොමිසම වෙනුවෙන් කරුණු දැක්වීම වැනි විවිධ මෙහෙවර ඇගැයුම් වස් අධිනීතිඥ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග (සම්මාන ප්‍රදානය - සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා, හේතුපාඨ ප්‍රකාශනය – ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ආයතනයේ විධායක නිලධාරී කීර්ති ජයසූරිය මහතා), සිංහල සංගීත ක්ෂේත්‍රයේ උන්නතියට සහ සුභාවිත ගීතයේ අභිවර්ධනය උදෙසා ඉටු කළ නිර්මාණශීලී මෙහෙවර ඇගැයුම් වස් ආචාර්ය වික්ටර් රත්නායක (සම්මාන ප්‍රදානය – ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්.බී.ගනේගල මහතා, හේතුපාඨ ප්‍රකාශනය – ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතා), සිංහල ටෙලි නාට්‍ය කලාවේ උන්නතියට සහ අධ්‍යක්ෂණය තුළින් ඉටු කළ නිර්මාණශීලී මෙහෙවර ඇගැයුම් වස් ප්‍රවීණ කලාකරු සුදත් රෝහණ (සම්මාන ප්‍රදානය – ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා, හේතුපාඨ ප්‍රකාශනය – ප්‍රවීණ කලාශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය) මහත්වරුන්ට සම්මාන ප්‍රදානය කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා