ගු රුකුලයේ නම රැන්දූ පසළොස් වසරක නර්තන පෙළහර

ගුරුකුලයේ නම රැන්දූ පසළොස් වසරක නර්තන පෙළහර

උඩරට නර්තනය ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික නර්තන කලාවේ අභිමානය කියා පාන්නකි. කිරිබත්ගොඩ “නිල්මිණි නිශ්ශංක රංගායතනය” මෙම කලා අභිමානය අනාගතයට උරුම කර දෙන අපූරු තෝතැන්නකි.

නිල්මිණි නිශ්ශංක

සිසු සිසුවියන් තුන්සියයක් පමණ නර්තනය හදාරන මෙම රංගායතනය වසර හයකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන්නේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ නර්තන ආචාරිණී නිල්මිණී නිශ්ශංක මහත්මියයි.

උඩවලව මහා විද්‍යාලයෙන් නර්තනය හැදෑරූ ඇයගේ ගුරු වෘත්තියට මේ වන විට වසර විසි දෙකකි. සෝමරත්න ගම්ලත් මහතා ඇයගේ මුල් නර්තන ආචාර්යවරයා යි. ඉන්පසු පිටිගල ජයසේන, රවි බන්දු විද්‍යාපති, මුදියන්සේ දිසානායක වැනි ප්‍රවීණ නර්තන ආචාර්යවරුන් යටතේ ප්‍රගුණ කරමින් සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා යටතේ දේශීය විදේශීය නර්තනය ද හැදෑරුවේ ය. ඇය එවකට මහවැලි සංස්කෘතික බලකායේ සාමාජිකාවක් ද විය.

ප්‍රථම ආසියාතික ජනකලා නර්තන උළෙලින් ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලාංකීය නර්න කණ්ඩායමේ, සාමාජිකාවක් වීමට ඇය වාසනාවන්ත විය. මූර්ති හා නාට්‍යකරණය පිළිබඳව ද විවිධ පාඨමාලා හදාරා ඇති ඇය ටෙලි නාට්‍යය මෙන්ම ගීත රූප රචනාවලට ද රංගනයෙන් දායක විය. තම දිවියම නර්තනය කරගනිමින් අනාගත පර

පුරට තම ශිල්පය දායාද කිරීමට නොමඳ වෙහෙසක් ගන්නා ඇගේ සේවය අගය කළ යුතුය. වසර පහළොවක් තිස්සේ නොකඩවා කැලණිය ගුරුකුල විද්‍යාලයීය නර්තන කණ්ඩායම සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍යය තරඟාවලියෙන් ජයග්‍රහණ ලබා ගන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි.

කන් බිහිරි කරවන නාගරික ඝෝෂාවෙන් පිරුණු කිරිබත්ගොඩ නගර මධ්‍යයට නර්තන කලාවේ සැබෑ සෞන්දර්ය ගෙන එන “නිල්මිණි නිශ්ශංක රංගායතනය” ද අනාගත දරු පරපුරට නර්තන ශිල්පය දායාද කිරීමේ ඇගේ එක් පියවරකි. ඇය පවත්වාගෙන යන මෙම රංගායතනයට මෙම මස 21 වන දින සුවිශේෂී දිනයකි.

රංගායතනයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන පළමු කළඑළි මංගල්‍යය පැවැත්වීම ඊට හේතුවයි. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්වෙන මෙම කළඑළි මංගල්‍යයේ දී සිසුන් දෙදෙනෙකුට වෙස් පැළඳවීමත්, සිසුවියන් තිස්අට දෙනෙකුට පායිම්පත් පැළඳවීමත් සුබ නැකතින් චාරිත්‍රානුකූලව සිදුවීමට නියමිත ය.

උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශන්තිකර්මය වන කොහොඹායක් කංකාරියේ නර්තන අංග සහ උඩරට නර්තන සම්ප්‍රදායේ සියලු අංග හොඳින් ප්‍රගුණ කළ සිසු සිසුවියන් සඳහා මෙම වෙස් පැළඳවීම සහ පාම්පත් පැළඳවීම සිදු කරයි. මෙම වසරේ සිට වසර හතරකට වරක් කළ එළි මංගල්‍යයක් පැවැත්වීමට ඔවුන් අදහස් කරයි.

උඩරට නර්තන සම්ප්‍රදාය අනාගතයට ගෙන යාමට මෙමඟින් දරුවන්ට මඟ සැලසෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා