පිත්තල කොණ්ඩෑරුම ස්වර්ණවාහිනියෙන්

පිත්තල කොණ්ඩෑරුම ස්වර්ණවාහිනියෙන්

රාජ්‍ය, සුමති, රයිගම්, සිග්නීස් රූපවාහිනී සම්මාන උළෙලයන් හි ඇගැයීමට ලක්වූ සඳගලතැන්න, සඳගිරිපව්ව නිර්මාණය කළ සමන් ලියනගේ ගේ නවතම රූපවාහිනි නිර්මාණය “පිත්තල කොණ්ඩෑරුම” දැන් සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 7.00 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වේ.


ස්ත්‍රී දින චිත්‍රපට උලෙළ 22 දක්වා පුංචි තියටර් හිදී

ජාත්‍යන්තර ස්ත්‍රී දිනය නිමිත්තෙන් කාන්තාව හා මාධ්‍ය සාමුහිකය 9 වරටත් සංවිධානය කරන චිත්‍රපට උලෙළ ප.ව. 3.00 ට හා 6.00 ට බොරැල්ලේ නාමෙල් මාලනී පුංචි තියටර් හිදී නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.

21 දා අස්ගාර් ෆාර්නාඩ් ගේ “අ සෙපරේෂන්”

22 දා මිලාන් ලුත්‍රියා ගේ “ඩර්ටි පික්චර්”

22 දා ඩැරල් ජේමිස් රූඩ්ට් ගේ “සර්ෆිනා” චිත්‍රපටයත් දර්ශනය කෙරේ. 20 දා ප.ව. 2.30 ට කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සංවිධානය කළ කෙටි වීඩියෝ චිත්‍රපට තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග බෙදාදීම හා එම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ද සිදු වෙයි.


ඡායාරූප ප්‍රදර්ශනයක්

කාන්තාව හා මාධ්‍ය සාමුහිකය ඉදිරිපත් කරන ස්ත්‍රීත්වය තේමා කරගත් ඡායාරූප ප්‍රදර්ශනයක් මෙම මස 16-17 දෙදින පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.


බර්මින් ලයිලි හරසර ප්‍රණාම උළෙල

ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ 52 වසරක හරසර ප්‍රණාම උළෙල හා නිර්මාණ පෙළහර මාර්තු 15 දින සිකුරාදා පස්වරු හතරට ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. ඔහුගේ සියලු ටෙලි නාර්මාණ එකතුවක් ඩී. වී. ඩී. මගින් එදින එළිදැක්වෙන අතර 52 වසරක සේවය අලලා ග්‍රන්ථයක් ද වෙබ් අඩවියක් ද එදින ස්ථාපනය වනු ඇත.

තැපැල් කටයුතු ඇමැති ජීවන් කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ දී සිළුමිණ රසඳුන කර්තෘ සුනිල් මිහිඳුකුල, ගීත රචක නිලාර් එන්. කාසිම්, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය සරත් විජේසූරිය, ගීතා කුමාරසිංහ, රංජන් රාමනායක, අනර්කලී ආකර්ෂා, දිල්හානි ඒකනායක, සුදත් රෝහණ, නුවන් ලියනගේ, ඩබ්. එච්. කේ. විජේසේකර, කෙටි දෙසුම් පවත්වති.


සී.ටී. ප්‍රණාම ගීසර

එදා මෙදා සදා නොමියෙන මතකයේ රැෙඳන ගීත ගැයූ “ The Golden Voice” (රත්තරන් හඬ) සම්මානයෙන් පුද ලද ඒ අපූර්ව ගායක සී. ටී. ප්‍රනාන්දු සූරීන්ගේ 35 වන අනුස්මරණය නිමිති කර “සඳවට රන්තරු” නමින් උපහාර ගී ප්‍රසංගයක් සී. ටී. ප්‍රනාන්දු මහතාගේ දයාබර පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු ගායකයාණන්ගේ සහභාගිත්වයෙන් හා ප්‍රවීන කලාකරුවන් හා සී.ටී. ගී රසික රසිකාවියන් රැසක් මධ්‍යයේ මාර්තු මස 23 සෙනසුරාදා ප.ව. 3.00 ට ගම්පහ සුමේධ රංග ශාලාවේ දී පැවැත්වීමට ගම්පහ සරසවි කලාකවය කටයුතු යොදා ඇත.

කථනය ප්‍රවීන නිවේදක අජන්ත කරුණාරත්නයන් ගෙනි. නොමිලේ පැවැත්වෙන මෙම සී.ටී. ගී උපහාර ප්‍රසංගය නැරඹීමට ගම්පහ සරසවි කලා කවය සහෘද සැමට විවෘතව ආරාධනාවක් කරයි.

චිත්‍රපට හා ටෙලි අධ්‍යක්‍ෂ සුමිත් ගල්හේනගේ ‘රජවත්ත’ ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගියදා කැලණිය රජමහා විහාර පරිශ්‍රයේ දී සිදු විය. මෙම අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු රංගන ශිල්පීන් ද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රෙහෙන්සි වරාගොඩ, කැලණිය මහා විද්‍යාලීය විදුහල්පති උපනන්ද වරාගොඩ හා ටෙලි නාට්‍යයේ නිෂ්පාදක චම්පක පෙරේරා ඇතුළු අමුත්තන් රැසක් ද සහභාගී වූහ. කැලණිය සමූහ


කලර් ඔෆ් ද බ්ලයින්ඩ් 17දා නෙළුම් පොකුණේ දී

ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත වුවන්ගේ සහජ හැකියාවන් සමාජගත කිරීමේ අරමුණෙන් “කලර් ඔෆ් ද බ්ලයින්ඩ්” දෘශ්‍යාබාධිත වුවන්ගේ සංගීත ප්‍රසංගය මේ මස 17 වෙනිදා සවස 7.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී පැවැත්වේ.

මෙම ප්‍රසංගයේ දී උපතින්ම අන්ධභාවයට පත්වුවන් ගීත ගායනා කිරීමට දායක වෙති. මීට උපාධිධාරී සංගීත ගුරුවරු තිදෙනෙක් ද සම්බන්ධ වී සිටින බව මෙම ප්‍රසංග කමිටුවේ කළමනාකාර අක්‍ෂි තාක්‍ෂණික වේදිනියක් වන සෝමලතා හේරත් මැණිකේ මහත්මිය පැවසුවාය.

මෙම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම් දෘශ්‍යාබාධිත වුවන්ගේ පුස්තකාල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම මෙන්ම ඔවුනට උදව් උපකාර කිරීම ද යොදා ගන්නා බව ප්‍රසංගය සංවිධානය කරන “කලර් ටීම්” සංගමය පවසයි. බන්දුල අලහකෝන්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා