මන බදනා රූ මැවූ

මන බදනා රූ මැවූ ‘ඉයුමනයිඩ්ස්’

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරන ලද රණසිංහ අධිකාරිගේ ‘ඉයුමනයිඩ්ස්’ නම් නාට්‍යය දීර්ඝ නාට්‍ය අතර වඩාත් කැපී පෙනෙන නාට්‍යයක් ලෙස අපට සැලකිය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ, ගාල්ලේ මහින්ද විද්‍යාලය, සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සහ සංඝමිත්තා විද්‍යාලය එකතුව මෙම නාට්‍යය ඉදිරිපත් කිරීමයි.

මෙම නිෂ්පාදනය සලකුණ තබන්නේ නිෂ්පාදන ශිල්පයේ ශූරතාවයයි. එයට හේතුව මා සිතන පරිදි රණසිංහ අධිකාරි කලක් තිස්්සේ, පාසල් දරුවන් සමඟ ග්‍රීක සහ ශේක්ෂ්පියර් නාට්‍ය විවිධ අවස්ථාවල නිර්මාණය කර ඉදිරිපත් කිරීමයි. මෙම පූර්ව අභ්‍යාසයන් නිසා ‘ඉයුමනයිඩ්ස්’ නාට්‍ය නිෂ්පාදනය ආලෝකමත් වෙයි. එහි රංගධරයන් වෘත්තීය මට්ටමකට ගෙන ඒමට අධිකාරි සමත් වී ඇත.

ඔහු විනාඩියක් පාසා මවන හැම වේදිකා චිත්‍රයක්ම මන බඳනා සුළුය. වේදිකා නාට්‍යයක් ඇසට අඳුනක් විය යුතු යැයි යන කියමන ‘ඉයුමනයිඩ්ස්’ අපට ඔප්පු කරයි. එහි රඟන දූතිකාවන්ගේ හඬ මහ පොළොව තුළින් නැගෙන්නා සේය. දූතිකාවන් යනු ග්‍රීක දේව පුරාණයේ එන පලිගැනීමේ දෙවඟනන්ය.

ඔවුන්ගේ දෑසින් ලේ වැගිරෙන අතර නාගයින් ඔවුන්ගේ හිස වෙළාගෙන සිටිති. මේ මුළු දූතිකාවන් කණ්ඩායම එකවර විරාමයන් සහිතව දෙබස් උච්චාරණය කිරීම, නාට්‍ය රංගනය උසස් මට්ටමකට ගෙන එයි. ඔවුන්ගේ බියකරු ස්වභාවය මනාසේ කියා පායි. මෙම නාට්‍යයේ ඇතීනා දෙවඟනගේ චරිතය නිරූපණය කරන නිළිය, තිළිණි රුවන්තිකාගේ රංගනය ඉතා ඉහළ මට්ටමක පවතියි.

නාට්‍යය ආරම්භයේදීම කථනය නාට්‍යයට පසුබිම් වූ ඉතිහාසය කියාපායි. ඇගමෙනොන් රජු, ටෙ‍්‍රීයි යුද්ධය ජය ගෙන සිය රටට ආපසු එන්නේ ඔහුගේම බිරිඳ විසින් රජු ඝාතනය කරනු ලබයි. ඉන්පසු ඇයගේ මරණය ද සිදුවන්නේ කෝපයට පත් ඇයගේම පුතණුවන් විසිනි.

එය සිදුවන්නේ ඇපලෝ දෙවිඳුන්ගේ දිව්‍යමය හස්තය ඔහුව පොළඹවනු ලැබීමෙනි. මෙම ඝාතනය සිදුවන්නේ අඩ අඳුෙර්ය. අඳුරු සෙවනැලි අතෙර්ය. එම බියකරු අවස්ථාව ප්‍රේක්‍ෂකයාගේ සිත සසල කරවයි.

මෙහිදී ආරියවංශ රණවීර මහතා සිය පරිවර්තනයේදී දක්වන පරිනත බව සහ භාෂා භාවිතය රංගනය හා මනාසේ ගැලපුණේ යයි සිතමි. ඒ සියල්ල අභිබවා ප්‍රේක්‍ෂකයා ‘ඉයුමනයිඩ්ස්’ රස විඳින්නේ එහි තේමාවේ ඇති සර්වකාලීන බව නිසාය. එහි ඇත්තේ දේශපාලන තේමාවකි. රටක යහපැවැත්ම අවශ්‍ය නීතියේ ආධිපත්‍යය හා සාධාරණත්වය, ‘ඉයුමනයිඩ්ස්’ කියා පායි. මෙය අප රටට අදටත් පොදුය. මෙම නාට්‍ය පිළිබඳ නිවැරදි තීරණයක් ගැනීම අද අපගේ විනිසුරු මඬුල්ලට ඇති වගකීමකි. එය කොයි තරම් දුරට ඉෂ්ට වේදැයි සැක සහිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා