අන්තර් පාසල් රගර්

අන්තර් පාසල් රගර්

ත්‍රිත්ව විදුහල පෙරමුණට

අන්තර් පාසල් අවුරුදු 20න් පහළ සිංගර් රගර් තරගාවලියේ පළමු කොටසේ පළමු කාණ්ඩයේ ආරම්භයේ සිටම පෙරමුණ රැකගත් සාන්ත පීතර විදුහල ලකුණු 35-25කින් පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත්විය. මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්කර ගැනීමට ද ත්‍රිත්ව විදුහල් පිලට හැකිවිය. ‍ඒ අනුව මෙතෙක් පෙරමුණේ සිටි සාන්ත පීතර විදුහල තුන්වැනි ස්ථානයට පත්විය.

සාන්ත පීතර විදුහල් පිටියේ පෙරේදා පැවැති ‍මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ත්‍රිත්ව විදුහල් පිල ලකුණු 28-17ක් ‍ලෙස ඉදිරියෙන් පසුවිය. ත්‍රිත්ව විදුහල ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් 2ක්, උත්සාහක දිනුම් 3ක් හා දඬුවම් පහර 2ක් ඇතුලත් වූ අතර සාන්ත පීතර විදුහල ගෝල2ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 2ක් එල්ල කළේය.

විද්‍යා විදුහලට ඉසිපතනය පරදී‍

මෙවර තරගාවලියේ අභියෝගාත්මක තරග රටාවක නිරතවෙමින් ප්‍රබල කණ්ඩායම් ගණනාවක් පරාජයට පත්කළ විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම හමුවේ ලකුණු 25-16ක පරාජයක් විඳ ගැනීමට පසුගිය වසරේ ශූරයන් වූ ඉසිපතන විදුහලට සිදුවිය. විද්‍යා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-3ක් ලෙස පෙරමුණ ගත් විද්‍යා විද්‍යාලයීය පිල ගෝල 2ක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 2ක් එල්ල කළ අතර ඉසිපතන විදුහල් පිල රැස් කරනු ලැබුවේ ගෝලයක් හා දඬුවම් පහර 3ක් පමණි.

රාජකීය විදුහලට 31-12ක ජයක්

මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 31-12ක ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල් පිල සමත්විය. සී.ආර්.පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 12-7ක් ලෙස වෙස්ලි විදුහල් පිල ඉදිරියෙන් පසුවූවත් දෙවැනි භාගයේ දී වඩාත් ආක්‍රමණශීලි වූ රාජකීය විදුහල් ක්‍රීඩකයන් වෙස්ලි කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළහ. රාජකීය විදුහල රැස් කළ ලකුණු සංඛ්‍යාවට ගෝල 4ක් හා දඬුවම් පහරක් ඇතුලත් වූ අතර වෙස්ලි විදුහල වාර්තා කළේ ගෝලයක් හා උත්සාහක දිනුමක් පමණි.

වෙස්ලි විදුහල ලැබූ මේ පරාජය හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට තුන්වැනි ස්ථානය දක්වා පහළ බැසිමට ඔවුන්ට සිදුවිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා