ජනතාවට කුණු කවන අයට සමාවක් නැත!

ජනතාවට කුණු කවන අයට සමාවක් නැත!

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතමකුගේ විවේචනයට හසුවිය. සමහරුන්ගේ මතය වූයේ මේ ආයතන මාධ්‍ය සංදර්ශන පවත්වනවා මිස පාරිභෝගිකයාට සෙතක් සලසන්නේ නැති බව ය. පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද ඇතැම්විට විවේචනයට හසු විය. තවත් විටෙක හාස්‍යයට ද ලක් විය. එහෙත් අමාත්‍යවරයාගේ නියමය පරිදි එම ආයතනය දිගට ම වැඩ කරගෙන ගියේ ය. නොයෙක් හෙළිදරව් කළේ ය. වැටලීම් කළේ ය. නඩු පැවරුවේ ය. එහි ප්‍රතිඵලය වූයේ කුමක් ද? ජනතාවට විෂ හා කුණු කවන ආයතන පනහක් වසා දමන්නට සිදු වීම ය.

රටකට වටිනා ම සම්පත ජනතාව ය. ජනතාවට නිරෝගී ජීවිතයක් ලබාදීමට කටයුතු කිරීම රජයක වගකීම වේ. එහෙත් කෝටි දෙකකට ටිකක් වැඩි වූ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් භාගෙට-භාගයක් ම ලෙඩ්ඩු වෙති. දියවැඩියාව, අධිරුධිර පීඩනය, ආමාශගත රෝග, වකුගඩු රෝග, පිළිකා ඇතුළු මාරාන්තික රෝග රැසක් රටපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි. මෙහි තරම කෙතරම් ද යත්; පාසල් සිසුන් අතරින් ද දියවැඩියා රෝගීහු මතු වෙති. මේ රෝගවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අප භාවිතයට ගන්නා ආහාරවල ඇති රසායනිකයන් ය. ඒවා සිරුරට අහිතකර ය. මාරාන්තික විෂ සහිත ය.

ඇතැම් රටවලින් අපද්‍රව්‍ය ලෙස ඉවතලන ආහාර අඩු මිලට ගෙන්වා නැවත සකස් කොට අලෙවි කරන ජාවාරම් ද තිබේ.

පාරිභෝගික අධිකාරියේ අරමුණ ප්‍රමිති‍යකින් යුතු භාණ්ඩ ජනතාවට ලබාදීම සඳහා කටයුතු කිරීම ය. එහෙත් නිදහස් වෙළෙඳ පොළෙහි ව්‍යාපාරිකයා හැමවිට ම කපටි ය. ඔහුගේ ඉලක්කය ඇත්තේ වැඩිම ලාභයක් කෙරෙහි ය. මේ අනුව වෙළෙඳාම තුළ දූෂිතකම් ඉහ-වහා ගොස් තිබේ. පාරිභෝගික අධිකාරියේ වැටලීම් නොවන්නට ජනතාවට කන්නට ලැබෙන්නේ එක්කෝ අමු ජරාවය. නැත්නම් දරුණු වස-විෂය. පසුගිය කාලය පුරාවට ම අධිකාරිය සිය යුතුකම ඉටු කළේය. ව්‍යාපාරිකයාගේ තරාතිරම හා දේශපාලන සම්බන්ධකම් නොතකා දිගට ම වැටලීම් කළේ ය. එහිදී අප මවිත කරවන ප්‍රතිඵල ද දැකගන්නට ලැබිණි.

පිටරටින් ආනයනය කරනු ලබන ඇපල් ගෙඩිය කල් තබාගැනීම සඳහා විෂ රසායනිකයන් ගෙඩියට එන්නත් කරන අතර ඇපල් ගෙඩියේ පෙනුම ආරක්ෂා කර ගැනීම සඳහා වැක්ස් වර්ගයක් ආලේප කරනු ලැබේ. මේ ඇපල් ආහාරයට ගන්නා තැනැත්තාට එක රෝගයක් නොව නොදන්නා රෝග ගණනාවක් වැලඳේ.

විශාල ප්‍රචාරණයක් ද සහිත ව කරළියට එන වෙළෙඳ සමාගම් වස-විෂ හා කුණු ආකර්ෂණීය දවටනවල ඔතා පාරිභෝගිකයාට ලබා දෙයි. පළමුවරට මේ ආහාර ද්‍රව්‍යවල ඇතුළු පැත්ත සොයන්නට පටන්ගත්තේ පාරිභෝගික අධිකාරිය යි. පිටරටින් ගෙන්වන ඕනෑම ජරාවක් මහ ඉහළින් පිළිගැනීම අපේ සිරිත ය. එහෙත් රටින් ගෙන්වන බොහොමයක් ආහාර ද්‍රව්‍යවල ඇත්තේ විෂ හා කුණු බව සොයාගත්තේ පාරිභෝගික අධිකාරිය යි. කියුබාවෙන් ගෙන්වන ලද රතු සීනිවල ගල් තිබිණි. තවත් රටකින් ගෙන් වූ සැමන් ටින් කල් ඉකුත්වූ ඒවා ය. ඇතැම් රටවලින් අපද්‍රව්‍ය ලෙස ඉවතලන ආහාර අඩු මිලට ගෙන්වා නැවත සකස් කොට අලෙවි කරන ජාවාරම් ද තිබේ.

මෙබඳු ජාවාරම් සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ කොළඹ ය. කොළඹ පිටකොටුවේ හරස් වීදි ගණනාවක ම ඉහත කී සමාගම් හා ‍තොග කඩ පිහිටුවා තිබිණි. ඒවා පාර්ශ්ව දෙකකට අයත් වේ. එක පාර්ශ්වයක් විදේශවලින් ආහාර ද්‍රව්‍ය ගෙන්වා මෙරට වෙළෙඳ පොළට නිකුත් කරයි. තවත් පාර්ශ්වයක් දේශිය වශයෙන් භාණ්ඩ ඒකරාශි කොට තොග වෙළෙඳාමෙහි යෙදෙයි. මේ දෙපාර්ශ්වය ම නියෝජනය කළ දූෂිතයන් අද අමාරුවේ වැටී තිබේ. ඇතැම් තොග කඩ වැසී යන්නට පටන්ගෙන ඇත්තේ සිල්ලර වෙළෙඳුන් ඔවුන් සමඟ ගනුදෙනුවට නොඑන බැවිනි. එම ආයතන බාල බඩු අලෙවි කරන ස්ථාන ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ.

සත්‍යය ලෙස ම මේ තිරුව ආරම්භ කරන්නට තිබුණේ; පාරිභෝගික අධිකාරියට හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මල් මිටක් යන සිරස් තලය යටතේ ය. අමාත්‍යවරයාත් එම අධිකාරියත් ඉටුකර ඇත්තේ ජාතික වගකීමකි. ආහාර ද්‍රව්‍ය අලෙවියට අදාළ ජාවාරම් හා දූෂණ මෙතරම් හෙළිදරව් කළ වෙනත් කාලයක් අපට මතක නැත. වැටලීම් සිදු කළ වෙනත් යුගයක් ද අපට මතක නැත. නීතිය ද මේ ජාවාරමට එරෙහි ව හොඳින් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. අපට වාර්තා වන අන්දමට ඉදිරියටත් පෙර පරිදිම වැටලීම් සිදුවේ. ඒ අනුව ආහාර ද්‍රව්‍ය සමඟ සෙල්ලම් කිරීමට කිසිවකුටත් ඉඩක් නො ලැබෙනු ඇත.

වෙළෙඳාම දියුණුවීමට හොඳම මාර්ගයක් බව සැබෑය. එහෙත් වෙළෙඳාම සාධාරණ විය යුතුය. යුක්ති සහගත විය යුතු ය. විශේෂයෙන් මිනිසා ආහාරයට ගන්නා දේ සමඟ ද, ලෙඩට ගන්නා ඖෂධ සමඟ ද ජාවාරම්වල යෙදෙන්නන් ජාතිභ්‍රෂ්ඨයන් ලෙස සලකා ඔවුන්ට දඬුවම් දිය යුතු ය. උත්සව සමයන්හිදී වෙළෙඳුන් ජනතාවට දෙන කුණු කන්දරාව දකින විට ඔවුන් බරපතළ අපරාධකාර‍යන් ලෙස සැලැකීමෙහි වරදක් නැත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය උත්සව සමයන්හි සිය වැටලීම් වැඩි කළේ ය. ඒ අනුව ටොන් ගණනක කුණු ආහාර සොයා ගැනීමට ලැබිණි.

ජන මාධ්‍ය ආයතනයක් ලෙස අප හැමදාමත් සිටියේ දුප්පත් පාරිභෝගිකයාගේ පැත්තේ ය. බොහෝ ජනමාධ්‍යවලට කලින් අපි මේ පුවත් වාර්තා කළෙමු. දැඩි විවේචන එල්ල කරමින් ජනතාව දැනුවත් කළෙමු. එහි ප්‍රතිඵලය ඉතා සාර්ථක බව පෙනී යයි. දූෂිත ආයතන පනහක් වැසීයාමට ආසන්න යැයි කියන ප්‍රවෘත්තිය ද අපි මුලින් ම වාර්තා කළෙමු. දූෂිත ආයතන දහසකට වඩා සාධාරණ එක් ආයතනයක් පැවැතීම වුව වැදගත් ය. යහපත් ආයතන මේ රටේ පවතී. ඒවා විවේචනය කොට ‍ඔවුන්ගේ ව්‍යාපාර බංකොලොත් කිරීම අපගේ ඉලක්කය නො වේ. හොඳ දේට හොඳයි කියමු. නරක දේට එලව-එලවා පහර දෙමු.

කුමක් වුව පාරිභෝගික‍ සේවා අධිකාරිය සිදුකරඇත්තේ විශිෂ්ට ජනතා සේවයකි. අදාළ ආයතනවලින් නිකුත් කළ වස-විෂ සහිත ආහාර තොග ජනතා පරිභෝජනයට ගියේ නම්; සිදු වන විනාශය ගැන සිහිපත් කිරීම පවා භයානක ය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා