න්ඉ­රි­යව් ක්‍රීඩක දිල්රු­වන් පෙරේ­රාගේ විශිෂ්ට පන්දු යැවීම හේතු­වෙන් බංග්ලා­දේ­ශය සමග ඩකා නුවර පැවැති පළ­මු‍ ­ටෙස්ට් තර­ගය ඉනි­ම­කින් හා ලකුණු 248කින් ජය ගැනී­මට ශ්‍රී ලංකාව ඊයේ සම­ත්විය.

දිල්රුවන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

ශ්‍රී ලංකාව ඉනිමකින් බංග්ලාදේශය පරදවයි

තුන්ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශය සමග ඩකා නුවර පැවැති පළමු‍ ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 248කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්විය.

සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පිට දඟ පන්දු යවන 31 හැවිරිදි දිල්රුවන් පෙරේරා බංග්ලාදේශ දෙවැනි ඉනිමේ දී බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 5කි. ඔහුට අනගි සහයක් ලබාදුන් සුරංග ලක්මාල් කඩුලු 3ක් බිඳ දැමීය.

තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ උදෑසන බංග්ලාදේශය ඉනිම ඇරඹුවේ කඩුලු 9ක් අතැතිව ලකුණු 463ක් පසුපසින් සිටිමින්ය.
බංග්ලාදේශය පළමු ඉනිම

ඕවර 63.5කදී සියල්ලන් දැවී ලකුණු-232යි. මුෂ්ෆිකර් රහීම් 61, ෂකීබ් අල් හසන් 55, සොහාග් ගාසි 42 (ශමින්ද එරංග 49/4, සුරංග ලක්මාල් 66/3, රංගන හේරත් 50/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම

ඕවර 187.5කදී කඩුලු 6කට ලකුණු-730යි. (ඉනිම අත්හිටුවන ලදි) මහේල ජයවර්ධන නොදැවී 203, කෞශාල් සිල්වා ‍139, කිත්රුවන් විතානගේ නොදැවී 103, ඇන්ජලෝ මැතිව්ස් 86, කුමාර් සංගක්කාර 75, දිමුත් කරුණාරත්න 53 (ෂකීබ් අල් හසන් 159/3)

බංග්ලාදේශය දෙවැනි ඉනිම

ටී.ඉක්බාල් ඇ.පෙරේරා ප. හේරත් 11

එස්.රහ්මාන් ඇ.චන්දිමාල් ප.එරංග 9

එම්.අයුබ් ඇ.සිල්වා ප.ලක්මාල් 18

එම්.හක් ක.මු.ක ප.පෙරේරා 50

එස්.අල් හසන් ක.මු.ක ප.පෙරේරා 25

එම්.රහීම් ප.පෙරේරා 14

එන්.හොසේන් ඇ.හේරත් ප.පෙරේරා 29

එස්.ගාසි ක.මු.ක ප.ලක්මාල් 23

ආර්.ඉස්ලාම් ක.මු.ක ප.ලක්මාල් 1

ආර්.හොසේන් ඇ.සිල්වා ප.පෙරේරා 17

ඒ.හොසේන් නොදැවී 32

අතිරේක 21

එකතුව සියල්ලන් දැවී (ඕවර 51.5) 250

කඩුලු බිඳවැටීම - 1- 15, 2-35, 3-50, 4-102, 5-133, 6-150, 7-183, 8-197, 9-197

පන්දු යැවීම - ලක්මාල් 14-4-39-3, එරංග 6-1-26-1, හේරත් 9-3-47-1, ඩී.පෙරේරා 19.5-0-109-5, මැතිව්ස් 3-0-10-0

ඒ වනවිට නොදැවී සිටි ආරම්භක පිතිකරු ෂම්සූර් රහීම් ඊයේ දිනයේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන්ම දවාලීමට ෂමින්ද එරංග සමත්විය. ඔහු දැවී ගියේ එරංගගේ කෙටිපන්දුවකට කඩුලු රකින දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් ලබාදීමෙනි. අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළ මාෂල් අයුබ් රැස් කළේ ලකුණු 18ක් පමණි.

සුරංග ලක්මාල්ගේ බවුන්සර් පන්දුවක් ඔහුගේ අත් ආවරණයේ වැදී ෂෝට් ලෙග් කලාපයේ සිටි කෞශාල් සිල්වා රැක ගැනීම හේතුවෙන් ඔහු දැවී යන විට බංග්ලාදේශය කඩුලු 3ක් දැවී රැස් කර තිබුණේ ලකුණු 50ක් පමණි.

අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රවීණ පිතිකරු ෂකීබ් අල් හසන් සමග එක්වූ මොයිනුල් හක් බංග්ලාදේශ ඉනිම ගොඩනැගීමේ උත්සාහයක නිරතවිය.

එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 102ක් තිබියදී ෂකීබ් දිල්රුවන් ‍පෙරේරාගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවී ලකුණු 25කට දැවී යාමත් සමග බංග්ලාදේශ කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්විය. සාර්ථක පිතිහරඹයක නිරතව සිටි මොයිනුල් හක් පන්දු 57කදී ලකුණු 50ක් රැස් කළ අතර ඊට හතරේ පහර 8ක් ඇතුළත් විය.

එහෙත් අර්ධ ශතකය රැස් කළ විගසම ඔහු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට දිල්රුවන් සමත්විය.

දිවා ආහාරයට පෙර සිය තුන්වැනි කඩුල්ල ලෙස බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකාර් රහීම්ගේ කඩුල්ල බිඳ දැමීමට දිල්රුවන් සමත්විය. ඔහු දැවී ගියේ ලකුණු 14කටය. දිවා ආහාරය වනවිට බංග්ලාදේශය කඩුලු 6කට ලකුණු 150ක් ලබා සිටියේය.

දිවා ආහාරයෙන් පසුව ඕවර 17කදී බංග්ලාදේශ ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ලට එක්වූ අල් අමීන් හොසේන් හා රුබෙල් හොසේන් ක්‍රීඩාලෝලීන්ට යම් ජීවයක් ලබාදෙමින් වේගවත් පිති ප්‍රහාරයක නිතරවීම කැපී පෙනුණි. දෙදෙනා අතර 10 වැනි කඩුල්ලට ලකුණු 53ක් එක්වූයේ පන්දු 38කදීය. රුබෙල් ලකුණු 17ක් රැස් කළ අතර අල් අමීන් පන්දු 18කදී ලකුණු 32ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමගිනි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් නොදැවී ද්විත්ව ශතකයක් රැස් කළ මහේල ජයවර්ධන තරග‍යේ වීරයා සම්මානය දිනා ගත්තේය.

මේ ජයග්‍රහණය බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ 14වැනි ටෙස්ට් ජයග්‍රහණය ලෙසත්, ඉනිමකින් ජය ලැබූ 8වැනි තරගය ලෙසත් වාර්තා පොතට එක්විය. දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන මස 4වැනිදා චිතගොන් හී දී ආරම්භ වේ.


සියලුම ක්‍රීඩකයන්ගේ දස්කම් ටෙස්ට් ජයග්‍රහණයට ඉවහල් වුණා

- ශ්‍රී ලංකා නායක මැතිව්ස්

කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුම එක ලෙස දස්කම් දක්වමින් සිය දායකත්වය උපරිම අයුරින් ලබාදීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් වාර්තා කිරීමට හැකිවූ බව ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

පසුගිය තරග කීපයක සිටම ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සිය දායකත්වය උපරිම ලෙස ලබාදුන් බව කී මැතිව්ස්, වේගපන්දු යවන්නන් හොඳින් දස්කම් දැක්වීමෙන් දඟපන්දු යවන්නන්ටත් දස්කම් දැක්වීමේ හැකියාව ඇති කරන බව කියා සිටියේය.

'පෙරේරා මේ දක්වා සහභාගි වුණේ තරග දෙකකට පමණයි.

ඒ තරග දෙකේදීම ඔහු පිත්තෙන් හා පන්දුවෙන් ඉතා විශිෂ්ට දස්කම් පෙන්වූවා. ඔහු හොඳ සොයා ගැනීමක්. මට නැවත වතාවක් ශතකය අහිමිවීම තරමක දුකක්. නමුත් මහේලට හා විතානගේට මම සුබ පතනවා.' මැතිව්ස් කීවේය.

කඩුලු රකින පිතිකරු ප්‍රසන්න ජයවර්ධනට සිය පියාගේ අභාවය හේතුවෙන් තරගය අතහැර යළි ශ්‍රි ලංකාවට යාමට සිදුවීම කණගාටුදායක කරුණක් බවත් මැතිව්ස් කියා සිටියේය.


පිතිකරුවන්ගේ අසාර්ථකත්වය  පරාජයට හේතුවයි

බංග්ලාදේශ නායක රහීම්

තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් වූවත් බංග්ලාදේශ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ බව බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකාර් රහීම් ඊයේ තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව කියා සිටියේය.

තරගයේ පළමු දිනයේ සිටම තම කණ්ඩායම පසුබෑමකට ලක්වී සිටි බව ඔහු කීවේය. 'අපේ පිතිහරඹය සම්බන්ධව මීට වඩා අවධානය යොමුකළ යුතුව තිබෙනවා. ඉදිරිපෙළේ පිතිකරුවකු දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීම ඉතා වැදගත්. එය මැදපෙළ පිතිකරුවන්ට විශාල ශක්තියක් වේවි.

ඊළඟ තරගයේ දී අපේ පිතිකරුවන් සාර්ථක දස්කම් දක්වාවි යැයි මා බලාපොරොත්තු වෙනවා.' රහීම් පැවැසීය‍.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා