අයවැය පැරදුණු ප්‍රා. සභා 8කට දිගටම වැඩ කරන්න උසාවියෙන් ඉඩ

හෝමාගම-කැස්බෑව-බුලත්සිංහල-මාතර-හිඟුරක්ගොඩ-හඟුරන්කෙත-ඉඹුල්පේ-දමන

අයවැය පැරදුණු ප්‍රා. සභා 8කට දිගටම වැඩ කරන්න උසාවියෙන් ඉඩ

මාර්තු 31දා තෙක් අලුතින් සභාපතිවරු පත්කිරීමට බෑ

උප සභාපතිවරුන් 3කට සභාපති පුටු දිගටම

හෝමාගමට-දමනට පනවා තිබූ තහනම් නියෝග දික් කරයි

දැන්වීම් නොලැබුණු වගඋත්තරකරුවන්ට නොතීසි

2014 අයවැය පරාජයට පත් වූ ප්‍රාදේශිය සභා අටක කටයුතු දැනට පවතින අයුරින්ම මාර්තු 31 දක්වා නොවෙනස්ව පවත්වා ගෙන යා යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) නියම කළේය. එතෙක් එම සභාවලට අලුතින් සභාපතිවරුන් පත් කිරිම හෝ ඉවත් කිරිම නොකළ යුතු යැයි ද නියම විය.

හෝමාගම ,කැස්බෑව,බුලත්සිංහල, මාතර, හිගුරක්ගොඩ, හඟුරන්කෙත,ඉඹුල්පේ සහ දමන ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් චන්ද්‍රා ඒකනායක, සත්‍ය හෙට්ටිගේ සහ රෝහිණි මාරසිංහ ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලව හමුවේ කැඳවුණු අවස්ථාවේදී මේ නියෝගයන් පැනවිණි.

කැස්බෑව,මාතර සහ බුලත්සිංහල සභාවල අය-වැය පරාජය වීමෙන් පසු එහි උප සභාපතිවරුන් සභාපතිවරුන් ලෙස පත් කර ඇති අතර ඔවුන්ට දිගටම කටයුතු කර ගෙන යෑමට හැකි යැයි ද නියම කෙරිණි. හෝමාගම සහ දමන සභාවන් සඳහා අලුතින් පත් කර ඇති සභාපතිවරුන් ඉවත් කීරීම වළකාලමින් අධිකරණය මීට පෙර පනවා තිබූ තහනම් ‍නියෝග දීර්ඝ කෙරිණි.

සභාපතිවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණවලට එරෙහිව ඔවුන් මේ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.පෙත්සම් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරිම සඳහා මාර්තු 31 දක්වා කල් තැබිණි.

පෙත්සම් පිළිබඳ දැන්වීම් ලැබී ‍නොතිබුණු වගඋත්තරකරුවන්ට නොතිසි යවන මෙන් ද නියම විය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ අතුල සිල්වා මහතාගේ උපදෙස් මත ජනාධිපති නිතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරු පෙනී සිටියහ.

ප්‍රාදේශිය සභාවලට අදාළ පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු වගඋත්තරකරුවන්ට රජයේ නිතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සහ නෙරිල් පුල්ලේ මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් බිම්බා තිලකරත්න මහත්මිය පෙනී සිටියා‍ය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා