විදුලිය කප්පාදුවක් - බිල වැඩිවීමක්  කිසිලෙසවත් සිදු කරන්නේ නෑ

විදුලිය කප්පාදුවක් - බිල වැඩිවීමක්  කිසිලෙසවත් සිදු කරන්නේ නෑ

විදුලි බලාගාර කිහිපයක් අක්‍රීයවීම සම්බන්ධයෙන් රටේ විවිධ ප්‍රචාර ගෙනගියත් විදුලිය කප්පාදුවක් හෝ විදුලිබිල වැඩිවීමක් කිසිලෙසකත් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළාය.

සමස්ත විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 3400ක් බව පෙන්වා දුන් ඇමැතිතුමිය මෙගා වොට් 300ක් බිඳවැටුණු පමණින් විදුලිබල ක්ෂේත්‍රයේ අර්බුදයක් ඇති නොවන බව ද කීවාය. කාර්ය බහුල වේලාවන්වලදී මෙගා වොට් 1900 - 2500ක් පමණ විදුලිය ජනනය කිරීමට අවශ්‍ය බව ද එය දැනට කිසිම අපහසුවකින් තොරව ජනනය කරන බව ද වන්නිආරච්චි මහත්මිය අනාවරණය කළාය.

වත්මන් විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරිය මෙම අදහස් පළ කළාය. සෙසු තාප විදුලි බලාගාර හා ජල විදුලි බලාගාරවලින් ජාතික විදුලි අවශ්‍යතාවට ප්‍රමාණවත් තරම් විදුලිය සැපයෙන බව ද වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

මෙහි දී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා,

නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා මූල්‍ය පාඩුවක් සිදුවී තිබෙනවා. නොරොච්චොලේ බලාගාරයේ විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම නිසා අපගේ ඉන්ධන බලාගාර කිහිපයක් විශ්‍රාම යවා තිබුණා. නමුත් ගල් අඟුරු බලාගාරය අක්‍රියවීම නිසා නැවත ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කර ජනතාවට කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. රජයේ ප්‍රතිපත්තිය සෑම කෙනකුටම අඛණ්ඩව විදුලිය ලබාදීමයි. අප නිලධාරීන් හැටියට එය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරනවා. මේ මෙගාවොට් තුන්සිය ගණනක් බිඳ වැටීම ලොකු දෙයක් නොවෙයි. බලාගාරවල කාර්මික දෝෂ සිදු වෙනවා. නොරොච්චෝලේ බලාගාරය ඉදිකරලා වසර දෙකයි තවම ගතවෙලා තිබෙන්නේ. නමුත් එහි ආදායම බිලියන 111ක් වෙලා තිබෙනවා. ගල් අඟුරු බලාගාරය නොමැතිව වසර 12ක් ගත වුණා. ඒ නිසා විදුලිබල මණ්ඩලය අතිරේකව බිලියන 414ක් වියදම් කළා. අද ඒ ගැන කතා කරනේනේ නැහැ. නොරොච්චෝලේ බිඳ වැටීමෙන් සිදුවන දෛනික පාඩුව ගැන පමණයි කතා කරන්නේ.

විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් බී ගනේගල, සාමාන්‍යාධිකාරී ෂවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු නිලධාරීහූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා