උතුරු පළාත් සභාව විසුරුවා හැරීම ගැන බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන

උතුරු පළාත් සභාව විසුරුවා හැරීම ගැන බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුයි

- ජාතික හෙළ උරුමය

රටට අහිතකර ආකාරයෙන් ක්‍රියාකරන දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන උතුරු පළාත් සභාව විසුරුවා හැරීම පිළිබඳව නීති විශාරදයින්ගේ අවධානය වහ වහා යොමුවිය යුතු බවත් ජාතික හෙළ උරුමය ප්‍රකාශ කර සිටී.

එහි නියෝජ්‍ය ලේකම් , නීති උපදේශක සහ හිටපු පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනුයේ උතුරු පළාත් සභාව පසුගිය 27ත් වන දින සම්මත කර ගත් යෝජනා 12 පිළිබඳව රටට ආදරය ඇති පුද්ගලයින් ගැඹුරින් සිතා බැලිය යුතු බවයි. හෙළ උරුමය රටේ ඉදිරිය සම්බන්ධයෙන් කියූ දේවල් මෙතෙක් වැරදී නොමැති යයිද ඒ මහතා කීය.

මේ තොරතුරු අනාවරණය වූයේ ඊයේ ( 30 ) ජාතික හෙළ උරුමය බත්තරමුල්ලේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

දෙමළ ජාතික සන්ධානය එදා ක්‍රියා කළේ තමිල් සෙල්වම්ගේ අනුදැනුම මතයි. එය කොටි ත්‍රස්තවාදයේ දේශපාලන පෙරමුණේ කොටසක් ලෙස හැඳින්විය හැකියි. හිට්ලර්ගේ ලාංඡන පාවිච්චි කරන අය අදත් අත්අඩංගුවට ගන්නවා. තලේබාන් දේශපාලන අංශය ඇෆ්ගනිස්ථානයේ තහනම්. සදාම් හුසේන්ගේ පක්ෂය අදටත් තහනම්. ඒ නිසා අප ලෝකය පුරා ක්‍රියාත්මක වන කොටි ත්‍රස්තවාදයේ දේශපාලන අංශය පිළිබඳවද අප අවධානය යොමු කළ යුතුයි. උතුරු පළාත් සභාව ඉතා උපක්‍රමශීලීව දෙමළ ඊලමට ශක්තියක් වන බව අපට පෙනෙනවා.

උතුරු පළාත් සභාව පසුගියදා සම්මත කර ගත් යෝජනාවලියෙහි හතර වන යෝජනාවේ දෙමළ ඊලම් මාතෘ භූමිය කියන වචනය තිබෙනවා. මෙය බරලතළ තත්ත්වයක්. ආයතනයක් එයට හිමි බලතල ඉක්මවා කටයුතු නොකළ යුතුයි. මව්බිම බෙදීමට කටයුතු කළ පිරිසක් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම නීති විරෝධීයි. ලෝකයේ රටවල් ගණනාවක් ව්‍යවස්ථාමය අරගලවලින් බිහි වූ බවද අප මතක තබා ගන්න ඕනෙ. වේලුපිල්ලේ ප්‍රභාකරන් කළාට වඩා භයානක දෙයක් විග්නේශ්වරම් මහතා ආරම්භ කර ඇති බවයි අපට පෙනෙන්නෙ.

කලා කරුවෙකු , කලා කාරිනියක් දේශපාලනයට පැමිණීම නුසුදුසු කමකුත් නොවේ. සුදුසුකමකුත් නොවේ. නීතිඥවරුන් , විවිධ වෘත්තිකයින් දේශපාලනයට පැමිණෙනවා නම් ඇයි කලාකරුවන්ට දේශපාලනයට කරන්න බැරි. දේශපාලනයට පැමිණි ඕනම පුද්ගලයෙකුට ඡන්දය දෙන්න ඕනෙ ඔහුගේ දේශපාලන සුදුසුකම්වලටයි. ජනතා ප්‍රශ්න වලට සවන් දීම , නිර්භීත නායකත්වය , දේශපාලන අවබෝධය වැනි ගුණාංගයන් කලා කරුවෙකු තුළත් තිබිය හැකියි. මේ රටේ සිටි විශිෂ්ඨ කලාකරුවන් රැසක් සාර්ථකව දේශපාලනයේ නියැලුනා.

ත්‍රස්තවාදය පරාජය කරන ලෙසට ජාතික හෙළ උරුමය කළ ඉල්ලීම වර්තමාන රජය ඉටු කළ බවද උදය ගම්මන්පිල මහතා පැවසීය.

ජාතික හෙළ උරුමයේ කොළඔ දිස්ත්‍රික් සභාපති රන්පත්විල විමලරතන හිමි -

කොටි ත්‍රස්තවාදීන් එදා සාමාන්‍ය ජනතාව පළිහක් කර ගෙනයි හමුදාවට ප්‍රහාර එල්ල කළේ. ලක්ෂ ගණනක එම ජනතාව අපගේ වීරෝධාර හමුදා මඟින් මුදා ගත්තා. එනිසා කොහොමද දහස් ගණන් ජනතාව මිය ගියා කියල කියන්නෙ. උතුරු පළාත් සභාව උත්සාහ කරන්නෙ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නයි.

කවුරුන් හෝ ත්‍රස්තවාදය නැවත ඇතිවන ආකාරයට කටයුතු කරනවා නම් ඔවුන් දේශද්‍රෝහීන්. මුල්ලිවල්ලිවයික්කාල්හි දී ස්මාරක ඉදි කළ යුතු බවට දෙමළ ජාතික සංවිධානය සම්මත කර ගත් යෝජනා වට අප තරයේ විරුද්ධයි.

මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ,හිටපු නාගරික මන්ත්‍රී මධු මාධව අරවින්ද යන මහත්වරුන්ද සහභාගී වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා