සියලු සංගම් බලය ගැන නොසිතා ක්‍රීඩාවේ උන්නතියට වැඩ කළ යුතුයි

සියලු සංගම් බලය ගැන නොසිතා ක්‍රීඩාවේ උන්නතියට වැඩ කළ යුතුයි

ජනපති

කුමන ක්‍රීඩා සංගමයක් වුවත් බලය පිළිබඳ නොසිතා ක්‍රීඩාව කෙරෙහි ආදරයක් ඇතිව ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රජයට අවශ්‍ය වන්නේ ක්‍රීඩාව හරි මාර්ගයේ ගමන් කරනු දැකීමට බව පැවසූ ජනාධිපතිවරයා මලල ක්‍රීඩා, ක්‍රීකට්, රගර්, එල්ලේ, බැඩිමන්ටන් කුමන සංගමයක් වුවත් ප්‍රථමයෙන් ක්‍රීඩාවට ආදරය කළ යුතු බව පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ නව ගොඩනැඟිලි සංකීර්ණය ක්‍රීඩාවේ මහ ගෙදර විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (29) එක්වෙමිනි. රටේ ජාතික සමඟියට හා ආගමික සහජීවනයට ක්‍රීඩාව යොදා ගත යුතු කාලය එළැඹ තිබෙන බවත් වචන  දහසකින් කිව නොහැකි ජාතිකත්වයක්, මමත්වයක් ඇති කිරීමට ක්‍රීඩාවට හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජාත්‍යන්තරයේ දී රන් පදක්කම්, රිදී පදක්කම් දිනා ජාතික ධජය රැගෙන යන විට, පොළව සිඹ ආචාර කරන විට රටට ම, සෑම හදවතකටම ඇතිවන්නේ මහත් අභිමානයක් බව පැවසූ ජනාධිපතිවරයා එතැනදී කිසිවකු ජාතිය, ආගම පිළිබඳ නොසිතන බවත් සැවොම සිතන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස බවත් ප්‍රකාශ කළේය.

මවුබිමට ආදරය කරන පිරිසක් අනාගතයේ බිහිකිරීමට ක්‍රීඩාව යොදා ගැනීමට අප කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා අද අලුත් ක්‍රීඩා සංස්කෘතියක් මේ රටේ ඇති වෙමින් තිබෙන බවත් රට පුරා ක්‍රීඩා පහසුකම් වැඩි කරමින් පවතින බවත් පැවසීය.

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් ගොඩනඟන අවස්ථාවක, ජාතික අරමුණකට රට ගෙනියන අවස්ථාවක ක්‍රීඩාව වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු සියලුදෙනාට ජනාධිපතිවරයා මෙහෙදී ස්තුතිය පුද කළේය. ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර,නියෝජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, සනත් ජයසූරිය මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා