ඒ බියකරු දවස මට අද වගේ මතකයි

ඒ බියකරු දවස මට අද වගේ මතකයි

දිඹුලාගල ගල් තලාවේ සක්වළ ජීවීන්ගේ සංඥා අක්ෂර

මෙරට මුල්වරට සක්වළ ජීවියෙක් සියැසින් දුටු

දිඹුලාගල-මහවැව උදයරානි දිනමිණට  ට තතු හෙළිකරයි

ග්‍රහලෝකවලින් පැමිණෙන ජීවීන්ගේ සම්බන්ධතා පැවැත්වීම සඳහා පෘථිවියේ සටහන් කොට ඇති සංඥා දොරටුව පිහිටියේ මෙහි දැක්වෙන දිඹුලාගල පර්වත භූමියේ බව පැවසේ. දිඹුලාගල කාශ්‍යප ධර්මායතනයේ අධිපති ආචාර්ය මාදුරුඔයේ විජිතාලංකාර හිමියෝ ද මෙහි වෙති.

වෙනත් ග්‍රහලෝකවලින් පැමිණෙන ජීවීන්ගෙන් සම්බන්ධතා පැවැත්වීම සඳහා පෘථිවියේ සටහන් කොට ඇති සංඥා දොරටුවක් ඓතිහාසික දිඹුලාගල පර්වතය තුළ පිහිටා ඇති බවට පිටසක්වළ ජීවීන් පිළිබඳ පර්යේෂකයින්ගේ මතය, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා සනාථ කරති.

මුහුදු මට්ටමේ සිට අඩි 120 ක් ඉහළින් කිලෝමීටර් 10 ක් දිගින් අක්කර දහසකට අධික භූමියක් පුරා පැතිර ඇති මේ පර්වතය වසර දහස් ගණනක සිට වනාන්තර භූමියක්ව පවතී.

බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළ යුගයේ පටන් මේ ඓතිහාසික දිඹුලාගල පුණ්‍ය භූමියක්ව පැවැති අතර, මහරහතුන් වහන්සේ පන්සියනමක්‍ මෙහි වැඩ වාසය කළ බවත්, අනතුරුව පණ්ඩුකාභය කුමරු හා ස්වර්ණමාලී දේවිය මේ භූමියේ සිට රාජ්‍ය පාලන කටයුතුවල නිරත වූ බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කාශ්‍යප ධර්මායතනයේ අධිපති මාදුරුඔයේ විජිත හිමියෝ පැවසූහ.

ඈත අතීතයේ භික්ෂූන් වහන්සේගේ ධර්මායතනයක් වශයෙන් දිඹුලාගල ශ්‍රී ලංකාද්වීපයටම බුදු දහම ප්‍රචාරය කිරීමේ ස්ථානයක් වශයෙන් පැවැති බවත්, කාලයාගේ ඇවෑමෙන් මෙහි යක්ෂ ගෝත්‍රිකයින් ජීවත්වූ බවත් පැවසෙනවා.

දිඹුලාගල පර්වතය මධ්‍යයේ ඉපැරණි සිද්ධස්ථානවල නටබුන් දක්නට ලැබෙන අතර, පුරාවිද්‍යාඥයින්ට පවා මෙතෙක් සොයා ගැනීමට නොහැකි සංඥා අක්ෂර ගල් මත සටහන් කොට ඇති බවත්, මේවා පිටසක්වළ ජීවීන්ගේ ආගමනය පිළිබඳ සාක්ෂි වශයෙන් සැලකීමට ද පුළුවන.

මේ වන විට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ආරක්ෂාව පිණිස මේඝවර්ණ හා චන්ද්‍රමුඛී දෙවි දේවිතාවියන් මෙහි අරක්ගෙන සිටින බවත්, විශේෂයෙන් පසළොස්වක පොහෝ දිනවලදී විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝකධාරා පර්වතය සිසාරා ගමන් කරන අයුරු දැකගන්නට ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මිල්ලානේ සිරියාලංකාර හිමියෝ,

මගේ පියා වැදි ගෝත්‍රිකයින්ගේ නායකයා. අපේ පරම්පරාවේ අය ජීවත් වී සිටියේ දිඹුලාගල පර්වත භූමියේ. මම දැන් වසර 40 ක් ම දිඹුලාගල සේනාසනයේ වැඩ වාසය කරනවා.

මේ පර්වතය තුළ අපට නොපෙනෙන බොහෝ දේවල් සිදුවනවා. පසළොස්වක පොහෝ දිනවලදී බෙර හේවිසි හඬ ඇසෙනවා. රාත්‍රී කාලයේ නිල් පාට, ‍රෝස පාට හැඩයෙන් යුත් ආලෝක ධාරා ඉහළ අහසේ සිට එනවා. රාත්‍රී කාලයේදී පැමිණෙන මේ ආලෝක වස්තූන් පර්වතයේ ඉහළ කොටසේ නිරතුරුවම දක්නට ලැබෙන බව භාවනානුයෝගීව එහි වැඩවසන භික්ෂූන් වහන්සේ දැක තිබෙනවා. වෙනත් ලෝකයකින් ජීවීන් මෙහි පැමිණෙන බවට මෙය හොඳම සාක්ෂියක් බව ද සිරියාලංකාර හිමියෝ පැවසූහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි මේ ප්‍රදේශයට බොහෝ කාලයක සිට පිටසක්වල ජීවීන්ගේ පැමිණීම සිදුවන බව විවිධ සිද්ධීන්වලින් වාර්තා විය.

මෙහි සුවිශේෂී සිද්ධිය වාර්තා වූයේ 1984 වසරේදී දිඹුලාගල පර්වතය ආසන්නයේම පිහිටි මහවැව ප්‍රාථමික විදුහල් භූමියෙනි. මෙම සිද්ධිය අපට හෙළිකරනු ලැබුවේ එවකට අට හැවිරිදි වියේ පසුවූ එල්. උදයරාණි මහත්මියයි.

ගෝත්‍රික පරපුරකින් පැවතෙන දිඹුලාගල වැදි නායක මිල්ලානාගේ වැඩිමහල් පුත්‍රයා වන මිල්ලානේ සිරියාලංකාර හිමියෝ වසර 40 ක් ම මහණ දම් පුරමින් දිඹුලාගල පර්වතයේ වැඩ වාසය කරති. උන්වහන්සේ එහි වැඩ සිටින අයුරුයි මේ.

අපි පදිංචිව සිටියේ මනම්පිටියේ. අක්කයි, මමයි හැමදාම මහවැව විදුහලට යනවා. මම ඉගෙන ගත්තේ දෙකේ පන්තියේ. අක්කා හතරවැනි පන්තියේ.

එදා ඉස්කෝලේ දොළහට ඇරුණ විට අක්කගේ පන්තිය ඇරෙනතුරු පිට්ටනිය ළඟට වෙලා අපි වාඩිවී සිටියා. ඒ වෙලාවේ එක්වරම පිට්ටනිය කළුවර වුණා. අඩි 4 ක් විතර උස රවුම් වාහනයක් බිමට පහත් වුණා. එහි නිල් පාට ලයිට් පත්තු වුණා. එහි දොරක් ඇරගෙන අඩි 2 ක් විතර උස මිනිහෙක් බිමට බැස්සා. ඒ මිනිසාගේ ඇඟ කළුම කලුයි. අතේ දිළිසෙන කඩුවක් වගේ යමක් තිබුණා. ඒ මිනිසා අපි සිටි දිහාවට එන්න ආවා. මමත් ඒ අසල සිටි ශ්‍රියාණිත් කෑගහගෙන ස්කෝලෙ ඇතුළට දිව්වා.

එතකොට ප්‍රින්සිපල් මහත්තයායි අනෙක් මහත්තුරුයි එළියට පැමිණ බලන‍කොට ඒ යානය ඉහළ අහස දෙසට යමින් තිබුණා.

ටික දවසක් යනතුරු එම යානය තිබූ ස්ථානයේ තණකොළ මැරී තිබුණා. එතැන තිබුණ ඇසළ ගස ටික දවසකින් වේලිලා මැරුණා. මේ සිද්ධියට දැන් අවුරුදු 30 ක් ගතවෙලා. නමුත් මට ඒ බිහිසුණු සිද්ධිය අද වගේ මතකයි. සමහර දවස්වලට මම හීනෙන් බයවෙනවා.

ඒ යානයෙන් බැසගෙන ආ මිනිසා ඇ‍ඟේ කළුපාට ‍රෝම තිබුණ මිනිහෙක් වගේ දැක්කාම බය හිතෙනවා. ශ්‍රී ලංකාවේදී පිටසක්වළ ජීවියකු යානයකින් පැමිණ මිනිසුන්ට දැකගැනීමට ලැබුණ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය වාර්තා වන අතර එදා සිට මේ වනතුරු දිඹුලාගල ප්‍රදේශයේදී හඳුනා නොගත් (U.F.O.) යානා පැමිණෙන අවස්ථාවන් රැසක් වාර්තා විය.

දිඹුලාගල පර්වතය පිහිටි භූමියට හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට උල්කාපාත කඩාවැටීම් විශාල වශයෙන් වාර්තා වන අතර, පසුගිය වර්ෂය තුළදී විවිධ වර්ණයන්ගෙන් වර්ෂාව පතිත වීම ද පර්යේෂකයින්ගේ අවධානය ලක්විය.

2013 වසරේදී කුඩාවැව ගම්මානයේ වෙල්යායකට කඩාවැටී තිබූ උල්කාෂ්ම පිළිබඳව නාසා විද්‍යාඥයින්ගේ පරීක්ෂණයට ලක්වූ අතර, විශ්වයේ ජීවීන් සිටින බවට එයින් සාක්ෂි ලැබී තිබුණි.

මෙම සිද්ධීන් පිළිබඳව අවධාරණය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මෙම ප්‍රදේශ සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වගකිවයුතු අංශවලට නියෝග කිරීම ද විශේෂ සිද්ධියකි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා