ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව තහවුරු කරනවා

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව තහවුරු කරනවා

දෙරටෙන් සහතිකයක්

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව සහතික කිරීමට සියලූ පියවර ගන්නා බවට ඉන්දු - ශ්‍රී ලංකා රජයන් සහතික වෙයි.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා නවදිල්ලියේදී ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඉන්දීය සාගරයේ සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ත්‍රෛපාර්ශවික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබෙන අතර ඊට අමතරව පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර ගැටලුව, ඉන්දීය සහායෙන් උතුරු පළාතේ ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘති සහ ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවස්ථාවන් පිළිබඳවද අවධානය යොමු කළ බව එම අමාත්‍යාංශය කියයි.

චෙන්නායි නුවර දී පැවති ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡාවල දී අත්කර ගත් ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබෙන අතර එම සාකච්ඡාවල දී ඇතිකර ගත් එකඟතාවන් ධීවර සංගම් දෙරටේ රජයන් වෙත යොමු කර තිබෙන බවද චෙන්නායි ධීවර සාකච්ඡාව අර්බුදය විසඳීමේ පළමු පියවරක් වන බවද රජය පෙන්වා දෙයි. ඒ පිළිබඳව සුබවාදීව ඇගයීමක් කළ යුතු බව දෙරටේ විදේශ අමාත්‍යවරුන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම දෙපාර්ශවයේම ධීවරයන්ට සුරක්ෂිත ලෙස සිය වෘත්තියේ යෙදීමට අවශ්‍ය වාතාවරණයක් සැලසීම සඳහා විදේශ ඇමැතිවරුන් එකඟ වී තිබේ. ඉන්දීය ධීවරයන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයක් යොමු කරන අතර මෙරට අත්අඩංගුවේ පසුවූ ධීවරයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලක් රජයට ස්තූතිය පළ කරන බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති සල්මන් කුර්ෂිඞ් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට වැදගත් වන කරුණු රැසක් කෙරෙහි මේ සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙන අතර සංහිඳියාව සම්බන්ධයෙන් ලක් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී ඉන්දියාවේ අවධානය යොමු කිරීමට විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පියවර ගෙන ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා