බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමැති හියුගෝගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා

බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමැති හියුගෝගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා

රජය අවධාරණය කරයි

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා‍ව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවී නැති බවට විදේශීය හා පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමැති හියුගෝ ස්වයිර් කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි.

එම ප්‍රකාශය ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය අවතක්සේරු කිරීමක් බව ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මේ රටේ ජාතීන් අතර සමඟිය, සහෝදරත්වය වර්ධනය වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් බවද බ්‍රිතාන්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය කිසි විටෙකත් පිළිනොගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි.

එය ඔහුගේ පෞද්ගලික මතය බව පෙන්වාදෙන ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සෑම සංවිධානයක්ම පාහේ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හොඳ, කාලීන වාර්තාවක් වශයෙන් පිළිගෙන තිබෙන බවද අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවැති සමයේ සිදුවූ දෑ විමර්ශනය වෙනුවෙන් මේ කොමිසම පත්කර තිබෙන බව ද එය ඉතාම හොඳ ක්‍රමවේදයක් බව ද ඒ මහතා කියා සිටී.

මේ අතර ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීව් ගුණසේකර මහතා සඳහන් කරන්නේ මේ වනවිට බ්‍රිතාන්‍ය රජය ඔවුන්ගේ මුල් තීරණයෙන් ඉවත් වූ බවක් දක්නට ලැබෙන බවත් ඔහුගේ මේ මතය බ්‍රිතාන්‍ය රජයේ හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මතය නොවන බවත්ය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා