දකුණේ එජාප ප්‍රබලයෙක් සන්ධානයට

දකුණේ එජාප ප්‍රබලයෙක් සන්ධානයට

දකුණ පළාත් හිටපු මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂා

එක්සත් ජාතික පක්ෂයේ දකුණේ තවත් ප්‍රබලයකු ඉදිරියේ දී රජය සමඟ එක්වීමට නියමිත බව දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂා මෙනවිය පැවසුවාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවළ ශක්තිමත් කිරීමට මෙලෙස මොවුන් එක්වෙමින් සිටින බව ඇය ප්‍රකාශ කළාය.දිනමිණ සමඟ ඊයේ (30) සාකච්ඡාවකට එක්වෙමින් හිටපු මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂා මෙනවිය එසේ පැවසුවාය.

විපක්ෂයේ ඇතැම් පිරිස් මේ වන විටත් ජාත්‍යන්තරය සමඟ එක්වී ජනාධිපතිතුමන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බව පැවැසු අනර්කලී ආකර්ෂා මෙනවිය කුමන බලපෑම් කළත් ජනාධිපතිතුමන් ඉන් නොසලෙන බව කීවාය.

ඉදිරියේ පැවැත්වෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවල දී අත්වන පරාජය දරා ගැනීමට නොහැකිව සිටින විපක්ෂය ඉන් වියරුවැටී රට පාවා දෙමින් විදේශයට ගතු කියමින් ගෙනයන වැඩපිළිවළ පිළිකුල් සහගතව හෙළා දකින බවද කියා සිටියාය.

විපක්ෂයකින් විය යුතු කාර්ය භාර්යය හෝ මහ ඇමැති ධූරයේ වගකීම් පිළිබඳව විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් හරිහැටි අවබෝධකර ගෙන නොමැති බවත් ඔවුන් මේ දිනවල හැසිරෙන ආකාරයෙන් හා දේශපාලන වේදිකාවල කරන කතා බහෙන් එය මනාව පිළිඹිබු වන බවත් අනර්කලි ආකර්ෂා මෙනෙවිය පැවැසුවාය.

තිස් වසරක කුරිරු යුද්ධය නිමවිමෙන් පසු රට දැවැන්ත සංවර්ධනයක් ලබා ඇති බව පැවැසු ඇය එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට සංචාරක ව්‍යාපාරය හා ආයෝජන ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබෙන බව කීවාය. සංචාරක ව්‍යාපාරයේ තෝතැන්නක් බවට දකුණු පළාත පත්ව ඇති බවත් ගාල්ල සේම මාතර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ඇති කිරීමට තමන් සැලසුම් සකස් කර ඇති බවත් ආකර්ෂා මෙනවිය කියා සිටියේය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා