ජනතාවට කුණු කවන අයට සමාවක් නැත!

හම්බන්තොට දරුවකුගෙන් ජනපතිට පැමිණිල්ලක්

හැටහයවැනි නිදහස් දින ජාතික උත්සවය මෙවර පැවැත්වෙන්නේ කෑගලු පුරවරයේ ය. “දැයට කිරුළ” යටතේ සංවර්ධනය කෙරෙන දිස්ත්‍රික්ක තුන අතරින් කෑගලු දිස්ත්‍රික්කයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මේ අයුරින් රටේම අවධානය කෑගල්ලට යොමු වූ අවස්ථාවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා කෑගලු පුරවරයට පැමිණියේය.

ඒ ඉරුදින පැවැති උත්සව හා රැස්වීම් කිහිපයකට සහභාගි වීම සඳහාය. ජනාධිපතිතුමා රැගත් හෙලිකොප්ටර් යානය ගලිගමුව යටාලතිස්ස ක්‍රීඩාංගණයට සේන්දු විය. ඒ වන විටත් ක්‍රීඩාංගණයට පැමිණ සිටි රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා විසින් ජනාධිපතිතුමා උණුසුම් අයුරින් පිළිගත්තේය. ඩග්ලස් දේවානන්ද මහතා ජනාධිපතිතුමා සමඟ හෙලිකොප්ටර් යානයෙන් කොළඹ සිට පැමිණ සිටියේ ය. රංජිත් සියඹලාපිටිය මහතා මෝටර් රථයේ නංවාගත් ජනාධිපතිතුමා ගලිගමුව මධ්‍ය මහා විද්‍යාල භූමිය බලා පිටත්ව ගියේ ය.

කෝ ඩග්ලස්

සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්, ඇමැති බන්දුල ගුණවර්ධන, මන්ත්‍රී කනක හේරත් මහත්වරු ජනාධිපතිතුමා පිළිගත්තේ මහත් හරසරින්ය. දරුවන්ගේ ආචාර සමාචාර මධ්‍යයේ මහින්දෝදය විද්‍යාගාර ඵලකය නිරාවරණය කිරීමට සූදානම් වූ ජනාධිපතිතුමා “කෝ අපේ ඩග්ලස් යැයි” ආපසු හැරී බලමින් ඇසීය.

දේවානන්ද මහතා ජනාධිපතිතුමා සමීපයට පැමිණියේ ය. මම මේ ඩග්ලස් හොයනවා යැයි ජනාධිපතිතුමා සිනාසෙමින් කීය. උත්සවය ආරම්භ වීමට හෝරාවක් තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ද ගලිගමුව විද්‍යාල භූමියට සේන්දු විය. ඔහු විදුහලේ වැඩිහිටි දරුවන් සමීපයට යමින් ඔවුන්ගෙන් නම් ගම් ඇසුවේය. “කොස් දෙල් කාපල්ලා, එළකිරි බීපල්ලා දරුවනේ, ඥානය හැදෙන්න ඇඟ හොඳට වර්ධනය වෙන්න. ඒ වගේ හොඳ දෙයක් නැහැ” යැයි ඒ මහතා කීය.

උසස් පෙළ හදාරන දැරියකට මුදල් පරිත්‍යාග කළ මන්ත්‍රීවරයා දරුවෝ ඔයාගේ ලග්නය කුමක් දැයි විමසීය.

ලැජ්ජාවෙන් ඇඹරුණ දැරිය “කන්‍යා” යැයි කීවාය.

කන්‍යා ලග්නය තියෙන්නේ පුණ්‍යවත් උදවියට. අපේ ජනාධිපතිතුමාත් කන්‍යා ලග්නයෙන් උපන් අයෙක් යැයි ඒ මහතා කීය. ජනාධිපතිතුමා අඹන්පිටියේ පිහිටි නවීකරණය කරන ලද ඩෝසන් බංගලාව විවෘත කිරීමේ අවස්ථාවට ද එක්විය. ඩෝසන් බංගලාවේ සමරු ඵලකය අසලට සේන්දු වූ ජනාධිපතිතුමා කෝ මේ ඩග්ලස් යැයි නැවත ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයා සොයමින් ඇසීය.

මම කොළඹ ඉඳන් එක්කන් ආවේ කෑගල්ලේ විශේෂ ආරාධිතයෙක් හැටියටයි. කියමින් විවෘත කිරීම සඳහා ජනාධිපතිතුමා දේවානන්ද ඇමැතිවරයා ද එක්කර ගත්තේ ය. විවෘත කිරීමෙන් පසුව ඩෝසන් බංගලාවේ කාමරයෙන් කාමරයට යමින් ජගත් බාලසූරිය ඇමැතිවරයා ජනාධිපතිතුමාට බංගලාවේ කාමර පෙන්වීය.

මේ කාමරය කාටද ජනාධිපතිතුමා ඇසීය. “සර් සර්ටයි මේක වෙන්කරල තියෙන්නේ” බාලසූරිය ඇමැතිවරයා කීය. මේ කාමරය කාට දැයි ජනාධිපතිතුමා ඊට යාබද කාමරය පෙන්වමින් ඇසීය. සර් මේක සර්ගේ පවුලේ අයට යැයි ඇමැතිවරයා කීවේය. ඩෝසන් බංගලාව නවීකරණය කළ එක හොඳ දෙයක්. නමුත් මම ඒකේ දේපළ බෙදාගන්න කැමැති කෙනෙක් නෙමේ යැයි ජනාධිපතිතුමා කීය.

මූණු පොතේ මිතුරියෝ

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලීය පිහිනුම් තටාකය හා කෑගලු බාලිකා විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් කෙරුණේද ජනාධිපතිතුමාගේ සුරතින්ය.

දරුවන් අසලට සේන්දු වූ ජනාධිපතිතුමා “දැරියකට සිය මව තරම් විශ්වාසවන්ත වටිනා තවත් මිතුරියක් නැහැ. හැබැයි ෆේස් බුක් මිතුරියන්ගෙන් ප්‍රවේසම් වෙන්න යැයි” කීවේය.

එතුමා බැඩ්මින්ටන් පිත්ත ගෙන රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා සමඟ ආරම්භක ක්‍රීඩා වාරයට එක්වූයේ පාසල් දරුවන්ගේ අත්පොළසන් මධ්‍යයේය.

බන්දුල ඔයා ඔතන බලාගෙන ඉන්නෙ නැතුව අපි දෙන්න බැඩ්මින්ටන් ගහන එක විනිශ්චය කරන්නැයි ජනාධිපතිතුමා බන්දුල ගුණවර්ධන මහතා දෙස බලමින් කීය.

ඒ අනුව සිනාසෙමින් බන්දුල ඇමැතිවරයා විනිසුරුවරයා ලෙස කටයුතු කළේ සැවොම සිතා සාගරයක ගිල්වමින්ය. එතුමා ජාතික නිදහස් උළෙල පැවැත්වෙන කෑගලු නගර මධ්‍යයේ උත්සව කටයුතු සඳහා අලුතින් ඉදිකරන ලද කෑගලු නිදහස් මාවත හා දිවංගත පී. ජී. බී. ජී.කළුගල්ල මහතාගේ පිළිරුව නිරාවරණයට ද එක්විය.

කළුගල්ල පිළිරුව ජනාධිපතිතුමා විවෘත කරන අතරතුරදී මහීපාල හේරත් මහතා සියඹලාපිටිය මහතාගේ කනට කොඳුරා කළුගල්ල ඇමැතිතුමා කෑගල්ලට නොගෙනාවේ වරායක් විතර යැයි කීවේය. සියඹලාපිටිය මහතා හිස සොලවමින් එය අනුමත කළේය.

ජනාධිපතිතුමා සඳුදා හම්බන්තොට බලා පිටත්ව ගියේ හම්බන්තොට පැවැති වාණිජ මණ්ඩලයේ විසිවැනි සංවත්සරයට සහභාගී වීම සඳහා ය.

ඉන් අනතුරුව මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ගොවි විශ්‍රාම වැටුප් ප්‍රධාන උත්සවය පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද යාපා අබේවර්ධන මහත්වරු ජනාධිපතිතුමා මහත් අභිමානයෙන් යුතුව පිළිගත‍්හ.

අපි අද සිට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කරන්නේ, එය අතර මැද නතර කිරීමේ අදහසින් නොවේ යැයි ජනාධිපතිතුමා මහින්ද යාපා අමැතිවරයා දෙස බලමින් කීය. සර් අපේ රටේ බහුතර ගොවි ජනතාව ඉන්නේ අපේ රජයත් එක්ක යැයි මහින්ද යාපා මහතා කීවේය.

අපේ ආර්ථිකය නඟාසිටුවන්නේ ගොවි ජනතාව. ඒ ගැන වාද විවාද අවශ්‍ය නැතැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය. වයස්ගත කාන්තාවක් පැමිණ ජනාධිපතිතුමාගේ සුරතින් ඇයට හිමි ගොවි විශ්‍රාම වැටුප් ලබා ගත්තේ දෑසෙන් කඳුළු රූරාවැටෙද්දීය.

එම හැඟුම්බර අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ දෑත් අල්ලගනිමින් ඈ “සර් ඔබතුමා රටේ වාසනාවට පහළ වූ නායකයෙක්. ඔබතුමා කවදාවත් අපිව අමතක කළේ නැහැ. ඔබතුමා හැමදා අපේ හදවතේ ඉන්නවා යැයි” කීවාය. ජනාධිපතිතුමාද ඇගේ මුහුණ දෙස බලා සිටියේ දයාවෙන් යුතුවය.

උත්සවය නිමාවීමත් සමඟ ජනාධිපතිතුමා දිවා භෝජනය සඳහා හම්බන්තොට මාකඳුරේ පිහිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නිවසට පැමිණියේය.

ලක්ෂ්මන් යාපා ඇමැතිවරයාත් ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාත් ජනාධිපතිතුමාට බුලත්හුරුළු දෙමින් පිළිගත්තේය. පසඳ යාපා ජනාධිපතිතුමාගේ පාද නමස්කාර කරද්දී හිස පිරිමැදි ජනාධිපතිතුමා “ඔයාට ඡන්දයේ ප්‍රශ්නයක් නැහැ යැයි” සිනා සෙමින් කීය. දිවා භෝජනයෙන් පසු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ මෝටර් රථයේ නැගී එතුමා මාකඳුර මධ්‍ය මහා විද්‍යාල සියවස් උළෙලට සහභාගී වීම සඳහා පිටත් විය.

මාර්ගයේ සවිකර තිබූ දැවැන්ත බැනර් දෙස බැලූ ජනාධිපතිතුමා, මෝටර් රථයේ වීදුරු පහත් කරන ලෙස රියදුරුට සංඥා කළේය. ‘සබඳ ඔබමය මගේ ලොව ඉරහඳ’ හොඳට ගැළපෙන්න ලියලා තියෙනවානේ, ජනාධිපතිතුමා සිනා සෙමින් කීය.

මහින්ද යාපා අබේවර්ධන මහතාගේ හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරු මූලික අධ්‍යාපනය ලැබූ මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයට ගිය ජනාධිපතිතුමාට ලක්ෂ්මන් යාපා මහතා විසින් සිසු දරුවන් පිරිවරා සිටි අවුරුදු 104 වයෝවෘද්ධ කාන්තාවක් පෙන්වමින් සර් මේ අපේ ගුරුතුමී යැයි කීය. ඔබතුමියගේ ගෝලයෝ දෙන්නෙක් මේ ඉන්නේ යැයි ජනාධිපතිතුමා ලක්ෂ්මන් යාපා හා මහින්ද යාපා පෙන්වමින් කීවේය.

මේ අපේ ජනාධිපතිතුමා‍ නේද යැයි කියමින් ඇය ජනාධිපතිතුමාගේ සුරත ගෙන අල්ලා ගත්තේ අප්‍රමාණ ස්නේහයෙන්ය. උත්සවය නිමවා මෝටර් රථයට නැග නික්මයෑමට සැරැසුණු ජනාධිපතිතුමා ඈත සිට කෑගසන දරුවෙක් දැක නැවත මෝටර් රථයෙන් බැස කුඩා දරුවා අසලට සේන්දු වූයේය. රතු වතින් සැරසී සිටි කුඩා දරුවාගේ හිස පිරිමැද “මොකද ඇඬුවේ”.

මම කවුද ජනාධිපතිතුමා ඇසීය.

ජනා...ධිපතිතුමා යැයි දරුවා වචන අදිමින් හුරතල් ලෙස කීය. නැවත හිස පිරිමදිමින් ජනාධිපතිතුමා නික්ම යත්ම තව දරුවෙක් ජනාධිපතිතුමාට ජයවේවා කියමින් විදුලි වේගයෙන් ජනාධිපතිතුමා සමීපයට පැමිණියේය.

“මට මේ මාමල ජනාධිපතිතුමා ගාවට එන්න දුන්නේ නැහැ” කියමින් දරුවා ආරක්ෂක නිලධාරීන් දෙසට අත දිගු කරමින් කීය. “ආයි එන්න දුන්නේ නැත්නම් අද වගේ හයියෙන් මට ඇහෙන්න කෑ ගහන්න එතකොට මම ඔයාව ගන්නවා” යැයි ජනාධිපතිතුමා ඒ දරුවාගේ හිස පිරිමදිමින් කීවේය. මෝටර් රථයේ නැඟුණ එතුමා තංගල්ල කාල්ටන් මන්දිරය බලා නික්ම ගියේය.

එජාපයට ලැයිස්තු අර්බුදයක්

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තු සැකසීම අර්බුදයක් බවට පත්වී තිබීම හේතුවෙන් එය විසඳීමේ කාර්ය නායකත්ව මණ්ඩලය වෙත විපක්ෂ නායකවරයා පැවරීය.

ඒ අනුව පසුගිය බදාදා සිරිකොතේදී කරු ජයසූරිය, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, මහත්වරු ප්‍රධාන නායකත්ව මණ්ඩලය රැස්විය. නායකත්ව මණ්ඩලය හමුවට දොඩංගොඩ හා මතුගම මන්ත්‍රී කණ්ඩායම් කැඳවා තිබුණි. දොඩංගොඩ ප්‍රාදේශීය සභා විපක්ෂ නායක උදිත ඉලේපෙරුම මහතාට නාමයෝජනා ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා එරෙහිවීමෙන් මෙම ප්‍රශ්නය අර්බුදයක් බවට පත්විය. සිය පුතුට නාමයෝජනා අවශ්‍ය බව පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කිරීමෙන් තත්ත්වය උග්‍ර අතට හැරුණේය.

නායකයා මම වෙන්නත් පුළුවන්

මතුගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ජිනදාස සිරිවර්ධන මහතා “උදිතට නාමයෝජනා ලබා දෙමු” යැයි යෝජනා කළේය. මොකද පාලිත ඔයා කියන්නේ? උදිතට නාමයෝජනා දෙමු නේද යැයි මහලේකම් තිස්ස අත්තනායක මහතා ද ඇසීය.

මුහුණ රතු කරගෙන සිටි පාලිත තෙවරප්පෙරුම මහතා නැඟිට ළඟ තිබූ ප්ලාස්ටික් පුටුව ගෙන උදිත ඉලේපෙරුමට පහරදීමට ගියේය. වහා ක්‍රියාත්මක වූ සභාපති කබීර් හෂීම් මහතා පුට‍ුව අල්ලා ගනිමින් “මේ ප්‍රශ්න මේ විදිහට විසඳන්න බැහැනේ මන්ත්‍රීතුමා මොකද මෙච්චර කේන්ති යන්නේ” යැයි ඇසීය. උදිතට තදින් බැණ වැදුණු පාලිත තෙවරප්පෙරුම මහතා වරින් වර දරුණු ලෙස දොස් නඟද්දී උදිත ද ඊට පිළිතුරු දුන්නේය.

උදිතට නාමයෝජනා දුන්නොත් මම මතුගම ආසන සංවිධායක කම අතහරිනවා යැයි තර්ජනය කරමින් පාලිත තෙවරප්පෙරුම මහතා සාකච්ඡාවෙන් නැඟිට ගියේය. විසඳුමකින් තොරව සාකච්ඡාව නිමා විය.

ලාල්කාන්ත මහතාට පසුගිය බදාදා ජාතික පුවත්පතක මාධ්‍යවේදිනියකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. “ජවිපෙ නායකත්වයේ වෙනසක් වෙනවා නේද? ඔබතුමා ද නායකයා වෙන්නේ යැයි මාධ්‍යවේදිනිය ඇසුවාය.

සහෝදරී අනිද්දා සවස 2ට ඒක හරියට දැනගන්න පුළුවන්. පක්ෂ නායකත්වය ඉවත් වීමට සූදානම් නම් අලුත් කෙනෙක් නායකත්වයට පත් වෙනවා. මමත් වෙන්න පුළුවන් යැයි ලාල් කාන්ත කීවේ සිනා සෙමින්ය.

මොකද මේ එක පාරටම නායකයා වෙනස් කරන්නේ ඡන්ද පරාජය නිසාදැයි මාධ්‍යවේදිනිය ඇසුවාය. මොන පිස්සුද සහෝදරී, මේක හදිසි තීරණයක් නෙවේ. අපි මේ තීරණය ගත්තේ මාස තුනකට පෙරයි. පෙරටුගාමී ගියාට පසු දැන් අපේ පක්ෂයේ රහස් එළියට යන්නේ නැතැයි ලාල්කාන්ත කීය.

“හරි හරි දැන් ඔයා ඡන්ද ඉල්ලනවානේ නේද” යැයි ඇය නිහඬ බව බිඳිමින් ඇසුවාය. අනිවාර්යයෙන්ම ඉල්ලනවා. ඔයාගේ මනාපෙත් මම ඉල්ලනවා. ලබාදීම ඔබේ යුතුකමක්. මම හැමදාම යමක් කරන්නේ මගේ විශ්වාසය උඩ යැයි ලාල්කාන්ත කීවේය. ඕනෑම දේක වගකීම භාර ගන්න දැයි ඇය නැවත ඇසුවාය.

මම ඕනෑම දෙයක් කරන්නේ මම මා ගැන විශ්වාස කරලයි ලාල්කාන්ත කීය.

ඒ කියන්නේ කාවවත් විශ්වාස නැහැ කියන එකද? යැයි මාධ්‍යවේදිනිය ඇසුවාය. කාවවත් විශ්වාස ද නැද්ද කියන එක නෙමේ සහෝදරී, යමක් කළ යුත්තේ තමා ගැන විශ්වාසයෙන්. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියා කියමනක් තියෙනවානේ යැයි ලාල්කාන්ත කීය.

පසුගිය සිකුරාදා මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජගිරිය මැතිවරණ කාර්යාලයට පක්ෂ ලේකම්වරු කැඳවා තිබුණි. තිස්ස අත්තනායක, සුසිල් ප්‍රේමජයන්ත මහත්වරු ඇතුළු පිරිසක් ඒ අනුව පැමිණ සිටියහ. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ එක් එක් මන්ත්‍රීවරු දින ප්‍රකාශ කරනවා. මැතිවරණ පනතේ සෙනසුරාදාවක ඡන්දය පැවැත්විය යුතු යන්න වගන්තිය නොතිබුණා නම් මම කරන වැ‍ඩේ කාටත් බලාගන්න පුළුවන් යැයි මැතිවරණ කොමසාරිස්වරයා එහිදී කීය.

පසුගිය සෙනසුරාදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එජාප ක්‍රියාකාරීන් අනුරාධපුර සාරානන්ද පිරිවෙනේදී රැස්විය. පහන් අසූ හතර දහසක හා නෙළුම් මල් ලක්ෂයක් පූජා කළ රනිල් ප්‍රධාන ක්‍රියාකාරීන් ආගමික වතාවත්වල නිරතවූහ. එදින රාත්‍රී රජරටම නවාතැන්ගත් රනිල්, මෛත්‍රී ඇතුළු පිරිස පසුදින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරිපිඬු පූජාවකට එක්වූහ.

නායකත්ව මණ්ඩල නිලධාරීන් පසුගිය සඳුදා විපක්ෂ නායකවරයා හමුවිය. සර් අපේ තලතයි, කිරිඇල්ලයි ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව වෙනුවෙන් යනවා කියන්නේ ඇත්ත දැයි එහිදී රවි කරුණානායක මහතා ඇසීය. ඒ අය යන්නේ ජිනීවා අන්තර්ජාතික සැසියට. ඔයා කලබල වෙන්න එපා යැයි විපක්ෂ නායකවරයා කීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා