ප්‍රවීණ පාපැදි ශූරයන්ට දිස්ත්‍රික් මට්ටමෙන් උපහාර

ප්‍රවීණ පාපැදි ශූරයන්ට දිස්ත්‍රික් මට්ටමෙන් උපහාර

මෙරට පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයට විශිෂ්ට සේවයක් ඉටුකර දැන් නිහඬව සිටින ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයන් ජීවත් වන දිස්ත්‍රික්කයන්හි පාපැදි තරග පවත්වා එම ක්‍රීඩකයන්ට උපහාර පිදීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපැදි සංගමය කටයුතු කරගෙන යයි.

මෙහි ප්‍රථම පියවර ලෙස 1968 වසරේ සිට ‘ලංකා සවාරිය’ ඇතුළු දිවයිනේ ප්‍රධාන පාපැදි තරගවලට සහභාගි වෙමින් පළමු ජයග්‍රාහකයන් පස්දෙනා අතර සිටි මග්ගොන සීඩින් සපුතන්ත්‍රි මහතා වෙනුවෙන් උපහාර උළෙලක් හා ප්‍රවීණ පාපැදි තරගාවලියක් දෙසැම්බර් මස 27 වැනි දින බේරුවලදී පැවැත්වෙනු ඇත. බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ සේවයේ නියුතු සපුතන්ත්‍රි මහතාගේ වයස අවුරුදු 77කි.

ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර උළෙල පැවැත්වෙනු ඇති අතර පාපැදි තරගාවලිය වයස අවුරුදු 45න් ඉහළ ස්ටෑන්ඩර්ඩ් හා අවුරුදු 50න් ඉහළ රේසිං ලෙසින් අංශ දෙකකින් පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපැදි සංගමයේ ලේකම් ලෙස්ලි රූපසිංහ මහතා පැවසීය. තරගයේ දුර කිලෝමීටර 50කි.

ඒ මහතා මේ කරුණු අනාවරණය කළේ මොරටුව බොල්ගොඩ රිසෝට් නිකේතනයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීය. ස්ටෑන්ඩර්ඩ් හා රේසිං තරගවල පළමු දස දෙනාට වටිනා ත්‍යාග හා ජය සංකේත පිරිනමන බවද ඒ මහතා එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපැදි සංගමයේ සභාපති, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව කළුතර දිස්ත්‍රික් ප්‍රවීණයන්ගේ ක්‍රීඩා හා පාපැදි සංගමය විසින් මේ උපහාර උළෙල හා පාපැදි තරගාවලිය සංවිධානය කරනු ලබයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා