ස්ලිම්ලයින් ‘ඒ’ පිල ක්ලිෆර්ඩ් බොක්සිං කිරුළ දිනා ගනී

ස්ලිම්ලයින් ‘ඒ’ පිල ක්ලිෆර්ඩ් බොක්සිං කිරුළ දිනා ගනී

දක්ෂතම ක්‍රීඩකයා ප්‍රභාෂ්වර : ක්‍රීඩිකාව නිරංජලා

‍ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් 87වැනි වරටත් පැවැති ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ රන් පදක්කම් 5ක් දිනා ගනිමින් සමස්ත පිරිමි ශූරතාවට හිමි ක්ලිෆර්ඩ් කුසලානය අත්කර ගැනීමට ස්ලිම්ලයින් 'ඒ' කණ්ඩායම සමත්විය. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දින 5ක් පුරා පැවැති මේ තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ රන් පදක්කම් 4කට හිමිකම් කී මාස් සදර්න් කණ්ඩායම විසිනි.

ක්ලිෆර්ඩ් කුසලාන දිනූ ස්ලිම්ලයින් 'ඒ' කණ්ඩායම ඡායාරූපය රංජිත් අසංක

ජාත්‍යන්තර තලයේ දස්කම් පෑ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වැදුණු මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු ස්ලිම්ලයින් 'ඒ' පිලේ මලිත් ප්‍රභාෂ්වර සම්මාන දිනූ අතර කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් තරග කළ කැෂුවලයින් බොක්සිං පිලේ නිරංජලා සේනානායක දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය අත්කර ගත්තාය. තරගාවලියේ හොඳම පරාජිත ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදා 'ඒ' පිලේ පී.ජී.ඊ.මධුෂාන් සම්මාන හිමිකර ගත්තේය. කිලෝග්‍රෑම් 54 බර පන්තියෙන් තරග වැදුණු නාවික හමුදාවේ එස්.වී.පී.ආර්. දිල්හානි කාන්තා තරග අංශයේ හොඳම පරාජිත ක්‍රීඩිකාව වූවාය.

එල්.ටී.බී.රත්නදිවාකර (කි.ග්‍රෑ.91), ඩී.ආර්.විජේරත්න (කි.ග්‍රෑ 64), පී.වී.ඩී.සපරමාදු (කි.ග්‍රෑ.60), එන්.ජේ.එස්.ජයවීර (කි.ග්‍රෑ56) ස්ලිම්ලයින් කණ්ඩායම වෙනුවෙන් සෙසු රන් පදක්කම්ලාභීහූ වෙති. කාන්තා ශූරතාව දිනූ මාස් සදර්න් පිල වෙනුවෙන් වී.එල්.එස්.සඳරේඛා (කි.ග්‍රෑ.60), කේ.ඒ.කේ. හංසිකා (කි.ග්‍රෑ 57), ජේ.ඒ.ඩී‍.ජයසිංහ (කි.ග්‍රෑ51), අනූෂා කොඩිතුවක්කු (කි.ග්‍රෑ.48) රන් පදක්කම් දිනා ගත්හ.

කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම බර පන්ති 10 බැගින් පැවැති මේ තරගාවලියේ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ‍නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ද කැපී පෙනුණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා