ජාතික කඩු හරඹ ශූරතාව ස්ලිම්ලයින් පිල රැක ගනී

ජාතික කඩු හරඹ ශූරතාව ස්ලිම්ලයින් පිල රැක ගනී

ජාතික කඩු හරඹ සංගමය විසින් තුන්වැනි වරටත් මෙහෙයවනු ලැබූ ජාතික කඩු හරඹ ශූරතාව පිට පිට තුන්වැනි වරටත් අත්කර ගැනීමට ස්ලිම්ලයින් කණ්ඩායම සමත්විය. එහි අනුශුරතාව දිනාගනු ලැබුවේ යුනිචෙලා කණ්ඩායම විසිනි. ජාතික කඩු හරඹ ශූරතාවලියේ පිට පිට තුන්වැනි වරටත් යුනිචෙලා කණ්ඩායම අනුශූරයන් බවට පත්වීම විශේෂත්වයකි. එපී, ෆොයිල් සහ සේබර් යන කාණ්ඩ තුනක් යටතේ පසුගියදා රත්මලාන මාස් හෝල්ඩිංග්ස් ආයතනයේ ක්‍රීඩා ශාලාවේ පැවැති මේ තරගාවලියට කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 124දෙනකු සහභාගි වූහ.

මෙවර තරගාවලියේ හොඳම කඩු හරඹ ශූරයා බවට පත්වූයේ සේබර් කාණ්ඩයේ රන් පදක්කම දිනාගත් යුනිචෙලා කණ්ඩායමේ මංජුල ප්‍රනාන්දුය. ස්ලිම්ලයින් කණ්ඩායමේ අනුරුද්ධිකා ධනංජලී සේබර් කාණ්ඩයේ රන් පදක්කමට හිමිකම් කියමින් කාන්තා තරග අංශයේ හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

ජයග්‍රාහී ස්ලිම්ලයින් කණ්ඩායම ඡායාරූපය – රංජිත් අසංක

පිරිමි තරග අංශයේ එපී කාණ්ඩයෙන් තරග වැදුණු ස්ලිම්ලයින් කණ්ඩායමේ ජේ.එච්. මධුසංඛ රන් පදක්කමට හිමිකම් කී අතර එහි රිදී පදක්කම ස්ලිම්ටෙක්ස් කණ්ඩායමේ දුෂාන් ළහිරුට හිමිවිය. ෆොයිල් කාණ්ඩයේ පිරිමි තරග අංශයේ රන් පදක්කම එම්.ඩී.එස්.කණ්ඩායමේ සුරේෂ් සුදර්ශනට ද, රිදී පදක්කම එම කණ්ඩායමේ තරිඳු මධුමල්ට ද හිමිවිය. සේබර් කාණ්ඩයේ පිරිමි තරග අංශයේ රිදී පදක්කමට හිමිකම් කීමට යුනිචෙලා පිලේ සුදේශ් චන්දන සමත්විය.

කාන්තා තරග අංශයේ ෆොයිල් කාණ්ඩයේ රන් පදක්කමට හිමිකම් කීමට සිලුවෙටා පිලේ අශෝකා උදයංගනී සමත්වූ අතර ස්ලිම්ලයින් පිලේ සන්දීපා සඳමාලී රිදී පදක්කම දිනා ගත්තාය. ස්ලිම්ලයින් කණ්ඩායමේ අනුරුද්ධිකා ධනංජලී කාන්තා තරග අංශයේ සේබර් කාණ්ඩයේ රන් පදක්කම දිනා ගනිද්දී එම කණ්ඩායමේ චතුරිකා සෙනෙවිරත්නට රිදී පදක්කම හිමිවිය. කාන්තා තරග අංශයේ එපී කාණ්ඩයේ රන් පදක්කමට හිමිකම් කීමට නිරංජලා වීරරත්න සමත්වූ අතර රිදී පදක්කම දිනාගනු ලැබුවේ ලීනියා පිලේ පියුමි නිශාන්ති විසිනි.

පිරිමි මිශ්‍ර තරග අංශයේ රන් පදක්කමට හිමිකම් කීමට යුනිචෙලා පිල සමත්විය. එහි රිදී පදක්කම හිමිවූයේ ස්ලිම්ලයින් කණ්ඩායමටය. කාන්තා මිශ්‍ර තරග අංශයේ රන් පදක්කම ස්ලිම්ලයින් පිලටත්, රිදී පදක්කම එම්.ඩී.එස්.පිලටත් හිමිවිය.

කී‍්‍රඩා අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ජාතික කඩු හරඹ සංගමයේ සභාපති ඩයන් ගෝමස්, උප සභාපති හර්ෂන හේවාමාන්න සහ ලේකම් කසුනි සිල්වා මහත්ම මහත්මීහූ ද එක්වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා