ජනතාව වෙනුවෙන් තවත් සහන!

ජනතාව වෙනුවෙන් තවත් සහන!

තෙල් මිල ද, ගෑස් මිල ද අඩුවී ඇත. පැට්රල් ලීටරයක මිල රුපියල් හතකින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් හතකින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් පහකින් ද යන ලෙසින් තෙල් මිල අඩු වී ඇත. සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙසිය පනහකින් අඩු කර තිබේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේ ද තෙල්මිල හා ගෑස් මිල අඩු කරනු ලැබිණි. ඒ අතින් බලන විට ජනාධිපතිවරයා හැකි සෑම අවස්ථාවක දී ම ජනතාවට සහන ලබාදීම සඳහා ඉදිරිපත් වෙයි. ඊට අදාළ තීන්දු ගනියි.

අවස්ථා දෙකේ දී ම සිදුකළ මිල අඩු කිරීම්වලට අනුව මේ වනවිට පෙට්රල් මිල රුපියල් දොළහකින් ද, ඩීසල් මිල රුපියල් දොළහකින් ද, භූමිතෙල් මිල රුපියල් විසි පහකින්ද අඩුවී ඇත. මෙය හදිසියේ ගත් තීරණයක් නො වේ. එක අතෙකින් ඛනිජ තෙල් සංස්ථාව නව කළමනාකරණ ප්‍රතිපත්තියකට අනුව සිය සංස්ථාවේ කටයුතු මෙහෙයවයි. අනෙක් අතෙන් ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පහළ ගොස් තිබේ. එහි වාසිය ද සංස්ථාවට දැන් ලැබෙමින් පවතී. ඒ අනුව ජනතාවට සහනයක් ලබාදීමට ඉදිරිපත් වීම ඉතා යුක්ති සහගත ය.

මේ සහන ලබා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව හැකි සෑම අවස්ථාවක ම ජනතා සහන ලබාදීමට ක්‍රියා කර ඇති බව ය. පොහොර සහනාධාරය, සමෘද්ධිය, බිත්තර වී ලබාදීම, තෙල් මිල අඩු කිරීම, ගෑස් මිල පහත හෙළීම, එබඳු අවස්ථා ලෙස පෙන්වා දිය හැකි ය. පොහොර සහනාධාරය නිසා රටේ සියලු ම ගොවි ජනතාවට විශාල සහනයක් ලැබිණි. රජය ඒ සඳහා බරපතළ මුදලක් යට කළ ද, කිසිවිටෙක එය කපා හරින්නට තීන්දු කළේ නැත. ඉදිරියටත් එවැන්නක් සිදුවන්නේ ද නැත.

බස් රථ හිමියන්ගේ හදිසි රැස්වීමක් ද පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට අටදහසකට අධික පිරිසක් සහභාගි වී සිටියෝ ය. මේ පිරිසගේ මුහුණුවල රැඳී තිබුණේ සතුට හා අපේක්ෂාවයි. සියලු දෙනා ම පැමිණ සිටියෝ මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා ය. එදා සමහරුන් බසයකට ගොඩ වූයේ සැකයෙන් යුතුව ය. කුමන අවස්ථාවක බෝම්බයක් පිපිරේදැ’යි සැකයක් එදා තිබිණි. මගීන්ගේ බත් ගෙඩිය පවා පරීක්ෂා කිරීමට සිදුවී තිබිණි. එම යුගය නිමා කළ ජනාධිපතිවරයාට බස් හිමියන්ගේ ගෞරවය හිමි වන බව ඔව්හු කියා සිටියෝය.

බස් හිමියන් පෙන්වා දුන් තවත් කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවන්න නම්; පෞද්ගලික බස් රථවලට මෙන් ම පොදු ප්‍රවාහන සේවයට ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ජනාධිපතිවරයා විසින් නිර්මාණය කර දුන් බව ය. මීට පෙර අපට තිබුණේ වසර පනහකින්වත් පිළිසකර නො කළ අබලන් පාරවල් ය. ඒවායෙහි ධාවනය වන මගී බස් රථ ඉතා ඉක්මනින් අබලන් විය. අද එබඳු තත්ත්වයක් නැත. රට පුරා ම කාපට් පාරවල් ඉදිකර තිබේ. ඒ හැරෙන්නට අධිවේගී මාර්ග පද්ධතිය උතුර දක්වා ම විහිදෙන්නට පටන් ගෙන තිබේ. මාර්ග යනු රටක දියුණුවේ අඩිතාලම ය. ඒවා ‍ඉදි නොකොට රට සංවර්ධනය කිරීම අමාරු ය.

ජනාධිපතිවරයා පෞද්ගලික බස් හිමියන් අමතා කතා කරමින් කියා සිටියේ රටේ සංවර්ධනය උදා කිරීම සඳහා සැලැසුමක් ඇති ව මුල සිට ම ක්‍රියා කළ බව ය. ඒ අනුව රටේ හැම පාරක් ම කාපට් කිරීමට හැකි වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. එදා පැවැති දුර්භාග්‍ය සම්පන්න අතීතය මෙන් ම අද රටේ පවතින වෙනස, කළගුණ දත් ජනතාවට හොඳට මතක ඇති බව ද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය. බස් රථ හිමියන්ගේ ඉල්ලීම බවට පත් ව ඇත්තේ බස් රථවල අමතර කොටස් ආදිය පහසු මිලකට ලබා දෙන ලෙස ය. එය ඉටුකිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේය.

2005 වනවිට රට පැවැති තත්ත්වය හා අද පවතින තත්ත්වය අතර වෙනස මහ ජනතාව දැනගෙන සිටිය ද එය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයාට හා රටට එරෙහි ව යන තවත් පිරිසක් ද අප අතර ම සිටිති. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ රට එක්සේසත් කළ නායකයා හේග් නුවර යුද අධිකරණය වෙත ගෙන යෑම ය. ඒ සඳහා ගෙන යන කුමන්ත්‍රණයට ‍ෙපාදු අපේක්ෂකයාගේ සහායකයෝ මෙන් ම කොටි සංවිධානයේ නියෝජිතයෝ ද, දෙමළ ඩයස්පෝරාවේ නායකයෝද සිටිති. පසුගියදා අල් ජසීරා රූපවාහිනිය මඟින් විකාශය කරන ලද රූපවාහිනි වැඩසටහනකින් ඒ බව තවදුරටත් තහවුරු වේ.

රටකට වඩාත් වටින්නේ ඒ රටේ ජනතාව ය. විශේෂයෙන් එම රටේ දරුවන් ය. දරු පරපුරට සමෘද්ධිමත් රාජ්‍යයක් ගොඩනැඟීම ඕනෑ ම නායකයකුගේ අභිප්‍රාය විය යුතුය. ලෝකයේ සිටි විශිෂ්ට ම නායකයන්ගේ කාර්යභාරය වූයේ ද එය යි. ලෝකය වෙනස් කළ හැක්කේ නිදිමරමින් වැඩ කරන ජනතාවට හා බුද්ධිමත් නායකයන්ට යැයි දාර්ශනිකයකු වන බ්‍රොන්ස්ටීන් මහතා කියා තිබේ. ඔහුට අනුව වැඩ කරන ජනතාවට අවස්ථාව ලබා දිය යුතුය. ඔවුනට අවශ්‍ය පහසුකම් සැපැයිය යුතු ය. සහන සැලැසිය යුතු ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ දර්ශනයට අනුව ජනතාව සමඟ එකට ගමන් කරමින් සිටී. සැලැසුම්සහගතව වැඩ කටයුතු කිරීම යනු එයයි. සහන සැපැයිය හැකි සෑම අවස්ථාවක ම ජනාධිපතිවරයා එය සිදුකර තිබේ.

කවුරු මොනවා කියුවද කුමන විවේචන එල්ල කළ ද ආණ්ඩුව මෙතෙක් ලබා දුන් ජනතා සහන ඉතා යුක්තිසහගත වන අතර ඒවා රටේ සංවර්ධනය සම්බන්ධයෙන් ද ඉතා හිතකර ලෙස බලපානු ඇත. තෙල් මිල අඩු කිරීම ඈත කඳුකරයේ දුගී දුප්පත් ජනතාවට ඉතා හොඳ සහනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. විදුලිය කොපමණ ව්‍යාප්ත වී තිබුණේ වුව කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන දරුවෝ සුළු පිරිසක් තව ම සිටිති. පෙට්රල් හා ඩීසල් සහනය ද පහළ මධ්‍යම පන්තියට හිතකර ලෙස බලපානු ඇත. යතුරු පැදියෙන් දිනපතා ගමන් යන පහළ මධ්‍යම පන්තිකයාට ත්‍රීරෝද රියැදුරාට මේ සහනය තවත් හොඳින් බලපානු ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා