තමන් පරදින බව ‍නොදන්නේ සිරිසේන විතරයි

තමන් පරදින බව ‍නොදන්නේ සිරිසේන විතරයි

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

නවරත්න රඹුක්වැල්ල

ඉදිරි ජනාධිපතිවරණය හා එය පසුබිමේ ඇති කාරණා සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල මහතා සමඟ කළ සාකච්ඡාවකි.

* මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කරමින් නිර්මාණය වූ විපක්ෂයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයට පසුබිම්ව ඇති සාධක ලෙස ඔබ දකින්නේ මොනවාද?

මෙය පසුබිමේ තියෙන ප්‍රධාන සාධකයක් තමයි යූ.එන්.පී.යේ දීර්ඝ කාලීන පරාජය. යූ.එන්.පී.ය දකින්න තියෙන්නෙ පරාජයේ කේන්ද්‍රය හැටියට. ඒ පරාජයේ මූලික ලක්ෂණයක් වෙන්නෙ එම පක්ෂයට නැවතත් අලුත් වෙන්න බැරිවීම. එහෙම වුණාම සදාචාරාත්මකව නැවතත් එළියට එන්න දොරටුවක් නෑ. උදාහරණයක් හැටියට ඔවුන් ප්‍රශ්න කරන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම්, ඒකෙ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා.

ඒ වගේ ම මේක විශාල වශයෙන් අවභාවිතාවේ යොදවපු අයම තමයි දැන් එය ප්‍රශ්න කරන්නේ. 1977 දී ලැබුණු 5/6 බලය උපයෝගී කරගෙන 1989 දක්වා තමන්ගේ පාලනය වාර දෙකකට දීර්ඝ කර ගැනීම පිළිබඳ ඉතිහාසයක් තියෙන්නෙ මේ අයටයි. ඒ බලය උපයෝගී කරගෙන මිනී කඳු ගොඩගහපු, යුද්ධ වවාගෙන කාපු, වංචා - දූෂණ - මගඩි කරපු, මහජනයාගේ දුගී දුප්පත්කම වවාගෙන කාපු අය අද කොහොමද කියන්නෙ දැන්නම් අපි ඒවා කරන්නෙ නෑ කියලා. එහෙම වෙනසක් වෙන්න නම් මේක උඩු - යටිකුරු වෙන්න ඕන නෙ. ඒක වෙන්නෙ නෑ. මං එහෙම කියන්නෙ ඒ පක්ෂ ව්‍යුහය, ප්‍රතිපත්ති වෙනස්වෙලා නැති නිසයි.

මේ නිසා ඒ අයට මැතිවරණයට සෘජුව එන්න බෑ. ඒකනෙ බිල්ලෙක් දාන්නෙ. දිනන බලවේගයක් තමන් එක්ක ඉන්නවා නම් එහෙම කරන්නේ නෑ.

අනෙක, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ජනාධිපතිතුමා සමඟ තියෙන පුද්ගලික වෛරය. ඒක ප්‍රතිපත්තිමය තීරණ ගනිද්දී එක් සාධකයක් පමණයි. ප්‍රධාන ම කාරණය එතුමියගේ කාලයේ දී ඇයි මේව කරගන්න බැරිවුණේ කියන එකයි. නමුත්, අද රටේ යුද්ධය අවසන් කරලා, ත්‍රස්තවාදය පරාජය කරලා, යටිතල පහසුකම් වඩා දියුණු මට්ටමකට ගෙනැත්, ජනතාවගේ ජීවන මට්ටම මධ්‍යම ආර්ථික මට්ටමට ගෙනැත්, ඒක එතැනිනුත් එහාට යමින් තියෙනවා. දුප්පත්කම උපුටා දමා තිබෙනවා. විරැකියාව අවමයි. මේ විදියට අපට සන්සන්දනාත්මකව බලන්න පුළුවන්.

* විපක්ෂයත් එක්ක සිටගෙන සිටින සුළු පක්ෂවල හැසිරීම ඔබ විග්‍රහ කරන්නෙ කොහොමද?

මේ සුළු පක්ෂ ගත්තොත් ඒවායින් බහුතරය රටේ කේන්ද්‍රීය බලය ඉල්ලන එක නෙවෙයි, මැතිවරණවල දී කරන්නේ කේවල් කරන එකයි. කේන්ද්‍රයේ බලය ඉල්ලන ජවිපෙ, දැන් පදනම කවුරුත් දන්නවා. 1987 – 90 කාලසීමාවෙ ඔවුන් කරපු දේවල් එක්ක ජවිපෙට මැතිවරණයක දී එළියට එන්න කවර සදාචාර සීමාවක්වත් නෑ. අපි දැන් එහෙම දේවල් කරන්නෙ නෑ කියන්න ඔවුන්ටත් හැකියාවක් නෑ. ජවිපෙ ඡන්ද පදනම ගත්තොත් 4% ක් විතර ඒක පසුගිය කාලයේ ම වැඩිවුණේ නෑ. එතැනින් එහාට ඒක වර්ධනය වෙන්නෙ නෑ.

ජාතික හෙළ උරුමයේ පසුබිම ඊට වෙනස්. එය බිහිවුණේ ම 2002 – 2003 රනිල් වික්‍රමසිංහ මහත්තගෙ ආණ්ඩුවේ ජාතික විරෝධී වැඩපිළිවෙළ නිසා ඇති වූ කම්පනය තුළින්. මූලික පරස්පරයක් එතැන තිබුණේ. දැන් වෙලා තියෙන්නෙ හෙළ උරුමයත් හිටගන්නෙ යූ. එන්. පියත් එක්ක. මේක ලොකු හාස්‍යයක් බව පෙනෙන්න තියෙනවා. ජාතිකත්ව බලවේගයක් 1956 පටන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙ ම තිබුණා. එය නිරන්තරයෙන් ම ශ්‍රීලනිපය උකහා ගත්තා. දැන් ජාතික හෙළ උරුමය කිව්වට ඒ රැල්ලට නෑ, මොකද ඒ බලවේගය ශ්‍රීලනිප තුළ නියෝජනය වෙනවා, යුද්ධය අවසන් කර තිබෙනවා. එතකොට ඒ අයට තියෙන්නෙත් පුද්ගලික ගමනක්. කනගාටුවට කාරණය මේකෙන් ඒ අයත් විනාශය කරා ගමන් කරන එකයි.

* එතකොට මේ එකිනෙකට වෙනස් මත දරන අය අතර අවබෝධතාවක් ගොඩනැඟෙනවා කියන්නෙ කොහොමද? ඒක අවංක එකක් වෙන්න පුළුවන්ද?

එතකොට මේ එකිනෙකට වෙනස් මත දරන අය අතර අවබෝධතාවක් ගොඩනැඟෙනවා කියන්නෙ කොහොමද? ඒක අවංක එකක් වෙන්න පුළුවන්ද?

මේ සියලු දෙනා ම පාවිච්චි කළේ සම්‍යයක් ප්‍රයෝග. ප්‍රතිපත්තියක්, අරමුණක් නැති වුණාම ජනතාව ඉදිරියට යන්න වෙන්නෙ සම්‍යයක් ප්‍රයෝගවලින්. හැංඟි හැංඟි කට්ටි පැන පැන ඉන්නෙ ඒකනෙ. පරස්පර දේවල් කියමින් එක ම මාවතක යන්න වගේ පෙන්වන්නෙ ඒ ප්‍රයෝගකාරී බව නිසයි. මේක ඇතුළෙ මොන තරම් පරස්පරතා තියෙනවාද කිව්වොත්, ධර්ම රාජ්‍යයකට යන අයයි, වෙන ම රාජ්‍යයකට යන අයයි දෙගොල්ල ම එකට ඉන්නවා. දිස්ත්‍රික් කලාප වෙන්කරගන්න ඕන කියන අයත් ඉන්නවා. එතැන ඉන්න අනෙක් සුළු පක්ෂ - කණ්ඩායම් ගැන නම් කතා කරලත් වැඩක් නෑ.

* මෙවැනි පරස්පරතා අතර ඔවුන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඔබ කොහොමද දකින්නෙ?

කා අතර ද මේ ගිවිසුම ඇතිවෙන්නෙ? මොනවද ඒකට අත්සන් කරපු දේශපාලන පක්ෂ, සංවිධාන? මොකට ද මේක අස්සන් කළේ කියල අස්සන් කරපු අයවත් දන්නවා ද? කවුද මේකට අත්සන් කළේ කියල බැලුවොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේකට අත්සන් කළේ මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන සැලසුම්කරුවෙක් නිසා ද? එතකොට එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහත්තයත් මේකට අස්සන් කරනවා. ඒ පක්ෂයක් නියෝජනය කරල ද? එතකොට, මේකෙ යම්කිසි ජයග්‍රහණයක් පෙනෙන මානයකවත් තියෙන්න නම්, සාමාන්‍යයෙන් මැතිවරණයක දී ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව, එකමුතුව, විශාල බලවේගයක් හැටියටයි පළමුව මතුවෙන්න ඕන.

නමුත්, මෙතැන එහෙම දෙයක් නෑ, මේ ගිවිසුම් අත්සන් කරන්නෙ එහා අන්තයේ සිට මෙහා අන්තයට. මේකෙ තියෙන හාස්‍යජනක කාරණය තමයි, සිරස් අතට නොයෙක් නොයෙක් අය මේකට අස්සන් කරද්දී තිරස් අතට ජාතික හෙළ උරුමයත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක වෙන ම ගිවිසුමකට යන එක. එහෙම කරන්නෙ අර ගිවිසුමත් එක්ක එකඟ වෙන්න බැරි නිසා ද? එකඟ නම් ඇයි ඒකට අස්සන් කරන්න බැරි වුණේ.

අනෙක මේකට, පුද්ගලයො හැටියටත් අත්සන් කළ බව පෙනෙන්න තිබුණා. ඒ නිසා මේවා ගැන ජනතාව දැනගත යුතුයි. එක රංචුවක් හැටියට එකතු වෙනවාට වඩා මෙතැන පෙනෙන්න තියෙන්නෙ කූඩු ටිකක් විතරයි. පාඨලී චම්පික රණවක මහත්තයා කියල තිබුණු හැටියට ඒ අය එකඟ වෙලා තියෙන්නෙ ජාතික සමඟි ‍සන්ධාන රජයක් හදන්න. ඒක කොහොම එකක් ද කියල මේක දිහා බැලුවම සිතාගන්න පුළුවන්.

නමුත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නියෝජනය කරන බලවේගය සන්ධානය දිහා බලන්න.

* විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨයක් වෙලා තියෙන්නෙ විධායක ‍ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේක දේශපාලනිකව තේරුම් කර ගන්නේ කෙසේ ද?

මුලින් මතුවුණේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නෙවෙයි. අලුත් ව්‍යවස්ථාවක් හැදිය යුතුයි කියන එක. ඒක ජනාධිපතිතුමා දිගින් දිගට ම පිළිගන්න දෙයක්. ඒක ඔය කියන විදිහට සරලව දින 100 කින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දින 100 ක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාය කිව්වට රට ස්ථාවරව පවත්වාගෙන යා හැකි ප්‍රවේශයක් එතැන නෑ. අනික විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරල ඇතිකරන්න යන්නෙ විධායක අගමැතිකමක්. ඔය වැඩවලින් වෙන්නෙ රට අස්ථාවර වෙන එකයි. ව්‍යවස්ථා උගුලක රට සිරකරන්නයි හදන්නෙ. කනගාටුදායක දේ තමයි, මේ කුමන්ත්‍රණයට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ කෙනෙක් යොදාගැනීම. ඔය කණ්ඩායම්වලින් බහුතරය වෙන් වෙන්ව දන්නවා ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වන බව. තමන් පරාජය වන බව නොදන්නේ මෛත්‍රීපාල මහත්තයා විතරයි.

මේ නිසා ඔය කණ්ඩායම් කරන්නේ පරදින මැතිවරණයකට එහා ගිහින් තමන්ගේ තමන්ගේ ස්ථාන හදාගන්න එකයි.

* විපක්ෂය මතු කරන සටන් පාඨ ඇත්තට ම මහජනයාට අවශ්‍ය, ඔවුන් තුළින් මතු වූ ඒවා බව කියන්න පුළුවන් ද?

ඇත්තටම, ඔය මතු කරන සටන් පාඨ කිසිවක් අපේ මහජනතාව තමන්ගේ මූලික විෂයය හැටියට පිළිගන්නෙ නෑ. හොඳ ම උදාහරණය තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේ අවස්ථාවෙත් ඒක මතුවුණේ ජනතාව අතරින් නෙවෙයි. ආයුධයක් හැටියට ඒක හදල ජනතාව අතරට වීසිකරපු එකයි කළේ. හැබැයි ඒක අල්ල ගත්තෙ ටික දෙනෙක් විතරයි. මෙතැනදී සංවේදී ම කොටස ජනතාව බව අප අමතක නොකළ යුතුයි. අවම වශයෙන් පසුගිය දස වසර තුළ සිදු වූ ප්‍රාතිහාර්යාත්මක වෙනස ඔවුන් දකිනවා. ඔවුන්ට එය දැනෙනවා. තමන්ගේ සහ තම අඹු - දරුවන්ගේ ජීවිත සුරක්ෂිත බව ඔවුන් දන්නවා. රටට අනාගතයක් පෙනෙනවා. 2005ට කලින් අවුරුදු 20 – 30 ක් තිස්සේ අනාගතයක් ගැන සිතනවා තබා යුද්ධයේ කෙළවරක්වත් නොදැක්කත් දැන් අපි අනාගතය දකිනවා.

* ඉදිරිය පිළිබඳ ඔබට යම් පෙර දැක්මක් කළ හැකි ද?

යුද්ධය නිමා කර ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය ජය ගැනීමෙන් පසු ආර්ථික අභියෝගය ජය ගැනීමට රට යොමු කෙරුණා. ඉදිරි කාලයේ දී රටේ ඇතිවන ආර්ථික පරිවර්තනයත් සමඟ අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ අවධානය යොමු කළ හැකියි. ඒ සාකච්ඡාව ගැඹුරින් ඇතිවිය යුතු දෙයක්. මීට කලින් පැකේජය ගෙන ආ විට අද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් එක්ක එකට ඉන්න අය ම තමයි පාර්ලිමේන්තුවේ දී ඒක ඉරල පිච්චුවේ.

අලුත් ව්‍යවස්ථාවක් හැදීමට සුදුසු ම අදියර තමයි ඉදිරියේ තියෙන්නේ. පළමු අදියරේ යුද්ධය දිනුවා. දෙවන අදියරේ දී ආර්ථිකය හා යටිතල පහසුකම් ගොඩනැඟුවා. ව්‍යවස්ථා වෙනසකට සුදුසු මේ තුන්වන අදියරයි.

1972 ජනරජ ව්‍යවස්ථාවේ තිබුණු ජනතාවට අදාළ වන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී මූලිකාංග විනාශ කරපු අය තමයි අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ඉන්නෙ. අලුත් ව්‍යවස්ථාවක් හැදිය හැක්කේ මේ රටේ මහා ජාතික බලවේගයට පමණයි. ඒ බලවේගය සිටින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟයි..

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා