අමිල මෙහෙවරක් කර ඇති මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ අඩුව පුරවන්න කිසිවකුට නොහැක

අමිල මෙහෙවරක් කර ඇති මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ අඩුව පුරවන්න කිසිවකුට නොහැක

 මහාචාර්ය ඉත්තෑදෙමලියේ ඉන්දසර නාහිමි

සිංහල භාෂා සාහිත්‍ය වෙනුවෙන්ද, දහස් ගණන් විශ්වවිද්‍යාල සිසුන්ගේ අද්‍යාපනය වෙනුවෙන්ද අමිල මෙහෙයක් කර ඇති මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ අඩුව පිරවීමට සුදුස්සෙක් සිතීමටවත් අපහසුවී ඇති බව, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නායක හිමියෝ පැවසූහ.

නුගේගොඩ, පළවන පටුමගේ පිහිටි තිස්ස කාරියවසම් මහතාගේ නිවසේදී, ඒ මහතාගේ අවසන් කටයුතු සඳහා නිවසින් මෘත දේහය රැගෙන යාමට ප්‍රථම පැවැති අවමංගල්‍ය උත්සවයේදී ඉන්දසාර හිමියෝ එසේ පැවසූහ. සිංහල භාෂා සාහිත්‍ය, පුරාවිද්‍යාව ඉතිහාසය හා සෞන්දර්ය කලාව ආදී ශාස්ත්‍රීය දැනුම ලෝකයා වෙත ගෙනයාම සඳහා තිස්ස කාරියවසම් මහතා සිදුකළ සේවයද, ශාස්ත්‍රීය වශයෙන් විවිධ විෂයයන් වෙනුවෙන් ලියා ඇති පොත්පත් ප්‍රමාණය ද අති විශාලයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨාධිපති සිංහල අංශයේ අංශාධිපති ආදි තනතුරු හෙබැවූ කාරියවසම් මහතා විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා වශයෙන්ද සේවයකර ඇති බව ද ඉන්දසාර හිමියෝ පැවසූහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ, සෞන්දර්ය විෂයට වටිනාකමක් නොමැතිව තිබූ අවදියේ ඒ සඳහා විශ්වවිද්‍යාලයේ අවධානය යොමුකරවමින්, පුවත්පත්වලට ලියූ ලිපි නිසාම, එම විෂය වෙනුවෙන් උපාධියක් ක්‍රියාත්මක වූ බවද, සෞන්දර්ය උපාධිය ලැබූ අපේ දහස් සංඛ්‍යාත උපාධිධාරීන් එතුමාගේ නාමය සදා සිහිපත් කරනු නිසැක යයිද කීහ.‍

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, බද්දේගම සමිත හිමි, ආචාර්ය ඩලගංවත්තේ චන්ද්‍රසිරි හිමි, හා මාදොළුවාවේ සෝබිත හිමියන්ද මෙහිදී කතා කළහ.

තිස්ස කාරියවසම් මහතාගේ දේහය නිවෙසින් රැගෙන ආ අයුරු. ඡායාරූපය - නන්ද ඒකනායක කෝට්ටේ මධ්‍යම සමූහ

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා