ජනපති මහින්දගේ විජයග්‍රහණයට කැප වෙනවා

ජනපති මහින්දගේ විජයග්‍රහණයට කැප වෙනවා

- ජාතික කොංග්‍රසය

එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ජාතික කොංග්‍රසය ප්‍රකාශකර ති‍බෙන අතර එම පක්ෂයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා මහතා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අයුරු. ඡායාරූපය - උදේශ් ගුණරත්න

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ජාතික කොංග්‍රසය පවසයි.

එහි නායක පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී පෙරේදා (6) හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.

ඒ වන විට ඒකාබද්ධව පැවති උතුරු නැ‍ඟෙනහිර පළාත් වෙන් කර රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම 2005 ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ප්‍රධාන ඉල්ලීම වූ බව මෙහිදී පෙන්වා දුන් මෙම පිරිස වසර තුනක් ගෙවීමට මත්තෙන් එම ඉල්ලීම අකුරටම ඉටු කිරීමට ජනාධිපතිතුමා සමත් වූ බව කියා සිටියහ.

මේ රට සංවර්ධය කරා ගෙන යාමට ජනාධිපතිතුමා දැන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය දැක්වීම සියලු දෙනාගේ වගකීමක් බවත් තම පක්ෂය සැමදා ජනාධිපතිතුමා රැඳී සිටින බවත් ඔවුහූ අවධාරණය කළහ.

නැගෙනහිර පළාත් ඇමැති එම්. උදුමා ලෙබ්බේ, නැගෙනහිර පළාත් මන්ත්‍රී එම්. එල්. ඒ. අමීර් යන මහත්වරුන් ඇතුළු ජාතික කොංග්‍රසයේ නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා