මා සමඟ ඇති වෛරය ජනතාවගෙන් ගන්න යන්න එපා

මා සමඟ ඇති වෛරය ජනතාවගෙන් ගන්න යන්න එපා

- සිරිසේනට-චන්ද්‍රිකාට-රනිල්ට ජනපති කියයි

 කොටි හිතවාදීන් බලා සිටින්නේ රට යළි යුද්ධයකට ගෙන යන්නයි

 ඒක රටට ජනතාවට කරන මහා අපරාධයක්

යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා රැගෙන ගිය මහින්ද රාජපක්ෂ සමඟ තිබෙන වෛරය ජනතාව ලවා පිරිමසා ගැනීමට ඇතැම් පිරිස් මඟ බලා සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රටේ සංවර්ධනය ආපස්සට ගෙන යාමට මොවුන් උත්සාහ කරන අතර මේ රට නැවත යුද්ධයකට ගෙන යාමට එල්. ටී. ටී. ඊ හිතවාදීන් බලා සිටින බව පැවසූ ජනාධිපතිතුමා අප සියලු දෙනාගේ වගකීම වන්නේ එම උත්සාහයන් පරාජය කිරීම බවත් අවධාරණය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික බස් කර්මාන්තයේ නිරත වන පිරිස සමඟ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී පෙරේදා (06) පැවැති හමුවකට එක්වෙමිනි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ පළිය ගැනීමට කොටි හිතවාදීන් බලා සිටින අතර අපේ රටේ ඇතැමුන් ඊට සහාය දීම කනගාටුවට කරුණක් බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ගෝලීය දෙමළ සංසදයේ නායකයා අල්ජසීරාවට පැමිණ තමා යුද අධිකරණයට ගෙන යා යුතු යැයි කියන විට ඔහුගේ දෙපස සිටින අපේ රටේ මන්ත්‍රීවරුන් වන හර්ෂ සහ විජේසිංහ ඊට උල්පන්දම් දෙන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මහින්ද පැරදුණොත් හේග් නුවර යුද අධිකරණයට රැගෙන යාම මොවුන්ගේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා මේ රටේ සෑම අයකුම මෙවැනි කරුණු ගැනත් අවධානයෙන් සිටිය යුතු බව අවධාරණය කළේය.

අපගේ අනාගතය පමණක් නොව ඉපදුන මෙන්ම නූපන් සෑම දරුවකුගේම අනාගතයත් සුරක්ෂිත කිරීම අපගේ වගකීම බවත් සියලුදෙනා අත්වැල් බැඳගෙන සුරක්ෂිත රටක් ගොඩනැඟීමට කැප විය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.

රට වෙනුවෙන් තමාගෙන් විය යුතු යුතුකම් ඉටු කිරීමට තමා සූදානම් වන ලෙස ජනතාවත් රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට සූදානම් විය යුතු බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පෞද්ගලික ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා