තමා පරාජය කිරීමට ඇතැමුන් උත්සාහ කරන්නේ ජනාධිපති ධූරයේ සිටින තුරු යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ නොහැකි නිසයි

තමා පරාජය කිරීමට ඇතැමුන් උත්සාහ කරන්නේ ජනාධිපති ධූරයේ සිටින තුරු යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ නොහැකි නිසයි

- කප්රුක නියෝජිතයන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි

තමා පරාජය කිරීමට ඇතැමුන්ට වුවමනා වී ඇත්තේ ජනාධිපති ධූරයේ සිටින තුරු යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ නොහැකි නිසා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරණයෙන් අනතුරුව තමා හේග් නුවර යුද අධිකරණයට ගෙන යාම මේ අයගේ වුවමනාව බව පැවසූ ජනාධිපතිතුමා මෙතෙක් කල් ජීවිතය කෙරෙහි විශ්වාසයක් නැතිව සිටි ජනතාවට අභයදානය දීමේ ප්‍රතිඵල තමාට ලැබී ඇත්තේ එලෙසින් බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති මහින්ද මෙම අදහස් පළ කළේ කප්රුක නියෝජිතයින්ගේ හමුවට අරලියගහ මන්දිරයේ දී ඉකුත් 5 වැනි දා එක්වෙමිනි. රට පුරා සියලු කප්රුක සමිති නියෝජනය කරමින් පන්දහසක පමණ පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

කප්රුක නියෝජිතයන් වන තමුන්නාන්සේලා අද මේ විදිහට අරලියගහ මන්දිරයේ දී දකින්න ලැබීම මට ලොකු සතුටක්. රට පුරාම ග්‍රාම සේවා සංගම් නියෝජනය කරන කප්රුක නියෝජිතවරුන් මෙතන ඉන්නවා. මම දන්නවා තමුන්නාන්සේලා මහින්ද චින්තන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනියන්න කැප කිරීම් කළ පිරිසක්. කප්රුක වැඩපිළිවෙළ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන සෞභාග්‍යයේ සංකේතයක්. සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්රුකට අපි පොල් ගහ සමාන කරන්නේ ආවාට ගියාට නෙවෙයි.

එදා අපේ ආර්ථික භෝග අතරේ තේ, පොල්, රබර්වලට මූලික ස්ථානයක් හිමි වුණා. නමුත් මේ තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් වුණා. වෙනස් වුණා කියවටත් වඩා නැති කළා කියන වචනය තමයි නිවැරදි. පොල් ඉඩම් කට්ටි කළා. වගාව විනාශ කළා. මේ විදිහට මේ රටේ ජනතාවට එලොව පොල් පෙන්වන තත්ත්වයට කටයුතු කළා. ඒ කාලේ “මේ බෑය කීයද” කියලා අහලා අරගෙන ගියේ. අද ජනතාව පොල් මිල කෙරේ එතරම් තැකීමක් කරන්නේ නැහැ.

රටේ ආදායමත් සමඟ අප මැදි ආදායම් ලබන රටක් බවට ක්‍රමානුකූලව පත්වෙලා තිබෙනවා. අද ඔබ මෙතැන පොල් අතු රැගෙන විත් රංගනයක් ඉදිරිපත් කළා. ඉස්සර නම් ගම්වලට ගියාම පොල් අතු ගෙවල් තිබෙනවා. දැන් නම් පොල් අතු ගෙවල් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඔබ ගමේ ඉන්න අය. දැන් ඔබේ ගමේ පොල්අතු ගෙවල් තිබෙනවා ද? ඔබම සිතන්න. එහෙම නැහැ. දැන් සුපිරි හෝටල්වල තමයි පොල් අතු වලින් පොඩි කුටියක් හදා තිබෙන්නේ.

අපි කෘෂිකර්මය කෙරේ විශේෂ අවධානයක්, ලැදියාවක් දක්වන රටක්, රජයක්. කෘෂිකර්මය කියන දේ එතරම් ප්‍රශ්නයක් නොවුණු එක යුගයක් තිබුණා. සියල්ල පිටරටින් ගෙන්වන්න කටයුතු කළා. අල, සීනී, සහල් පමණක් නොවෙයි මේ රටට පළා, කංකුං ටික පවා පිටරටින් ගෙන්නුව යුගයක් තිබුණා. අද ඒක කිව්වොත් හිනාවෙයි. අපට දැන් ඒ ඉතිහාසය අමතකයි. එක්තරා කාලයක අපි පොල්තෙල් පිටරට යැව්වා. පස්සේ කාලෙක පොල්තෙල් වෙනුවට නොයෙක් තෙල් වර්ග, පොල් තෙල් වෙනුවට ආදේශන ගෙන්වන්න පටන් ගත්තා.

එක් කාලයක අපි පොල්කටු අඟුරු අපනයනය කළා. පසුව ඒ නිෂ්පාදනය අඩුවුණා. නමුත් දැන් නැවතත් ඒ සඳහා වෙළඳපොලක් ඇතිවෙලා තිබෙනවා. ගම්වල පොල්කටු එකතු කරනවා. දැන් අලුත් ආදායමක් හැදීගෙන එනවා. නැවත වාරයක් පොල් කර්මාන්තය දියුණු වෙමින් පවතිනවා. අපිට හලාවත සහ කුරුණෑගල පොල් වතු රජයට ලබාගන්න සිදුවුණා. පාඩුවට තිබුණ ඒ දේවල් අද ලාභ ලබන තත්ත්වයට ගෙනත් තිබෙනවා. පොල් කර්මාන්තය සඳහා විශේෂ අමාත්‍යාංශයක් හැදුවේ අපි නිකමට නෙවෙයි. සමහරු හිනාවුණා. පොල්වලට, සීනිවලට අමාත්‍යාංශ තිබෙනවා කියලා. නමුත් ඒ කර්මාන්ත කෙරේ අපේ තිබෙන උනන්දුව, වුවමනාව තමයි ඒකෙන් අපි පෙන්වූයේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට පොල් කර්මාන්තයත් ඇතුළත් කළා නම් වැඩි අවධානයක් යොමු වන්නේ තේ වලට. මෙතෙක් කල් පොල් කර්මාන්තය එයට ඇතුළත් කිරීමෙන් සිදුවුණේ පොල් කර්මාන්තය පහළට ගොස් වෙනත් කර්මාන්තවලට අවධානය වැඩිවීම. තේ අපනයෙන් ලැබෙන විදේශ විනිමය වැඩියි. එවිට පොල්වලට තිබෙන අවධානය අඩුවෙනවා. එය සාමාන්‍ය මිනිස් ලක්ෂණයක්. ඒ නිසා අපට සිදුවුණා මෙයට වෙනම අමාත්‍යාංශයක් හදන්න. මෙය හැම ගමකම, දිස්ත්‍රික්කයකම, ලංකාව පුරාම පැතිරුණු කර්මාන්තයක්. අද පර්චස් විස්සක ගෙයක් තිබෙන ඉඩමකත් පොල් ගසක් තිබෙනවා. පොල් පැළයක් නැති නිවසක් නැහැ. විශේෂයෙන්ම පසුගිය කාලයේ ඇතිවුණු ප්‍රශ්නත් සමග ඔබ පොල් පැළ නොමිලේ ලබාදුන්නා සිටුවීමට. ඒ නිසාම එය අද සැබෑම කප්රුකක් බවට පත්වෙලා. හැම අංශයකින්ම ආදායම් ලබන්න හැකිවෙලා තිබෙනවා.

අපි ආනයනික පොල්වලට විශාල බද්දක් නියම කළා. අපි නිෂ්පාදන ආර්ථිකයට මේ රට යොමු කෙරෙව්වා. මෙය අමතක කරපු, ඉවත් කරපු යුගයක් තිබුණා. අද වුණත් අපට අඩුවට අල ගෙනෙන්න පුළුවන්. බදු අඩු කළාම ඉතාම අඩු මුදලට දෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ඉතිරි වන්නේ කුමක්ද? පසුගිය කාලේ ආහාර හිඟයක් ඇතිවුණා නියඟය හා නොයෙක් දේශගුණික බලපෑම් නිසා. අපට කුමක් ද සිදුවුණේ? අපි වීවල ඉඳලා හැම කෘෂිකාර්මික අංශයක්ම කෙරේ, කෘෂි ආර්ථිකය කෙරේ විශ්වාසය තැබූ නිසා මේ රටේ ජනතාව කුසගින්නෙන් මැරෙන එක නතර වුණා. සමහර රටවල් පිටරටවලට ආහාර යැවීම තහනම් කළා.

අපි ස්වයංපෝෂිත වුණු නිසා, පසුගිය වසර 10 ක කාලය තුළ පිටරටින් නැව් එනතුරු බලා නොසිට ජීවත් වුණු නිසා අපට හැකිවුණා අපේ ජනතාව කුසගින්නෙන් බේරාගන්න. මේ තමයි ඇත්ත කතාව. අද ඒවා බොහෝ අයට අමතකයි. එපමණක් නොව තිස් අවුරුදු ත්‍රස්තවාදයත් අමතකයි. තිස් වසරක් බියේ හිටපු අද සමහරු කෑ ගසනවා. මිනිසුන් ජීවත් වුණේ බියෙන්. ශ්‍රී ලංකාවේ මොන දිස්ත්‍රික්කයේද බෝම්බ පිපිරුණේ නැත්තේ? මොනරාගල, හම්බන්තොට, අවසානයේ අකුරැස්සේ, පොළොන්නරුවේ, අනුරාධපුරයේ, ශ්‍රී පුර, ත්‍රිකුණාමලයේ, කොළඹ මේ හැම පළාතකම ත්‍රස්තවාදයෙන් බැටකාපු අය ඉන්නේ.

මෙහෙම යුගයක ඉඳලා තමයි අපි ඒවායින් මිදුණේ. එයින් මිදිලයි අපේ රට සංවර්ධනය වුණේ. අද හැම දේටම බනිනවා. පාරක් හැදුවත් බනිනවා. රටක් අපිට දියුණු කරන්න පුළුවන්. ඔබේ ගමට විදුලිය ඕනැ කියනවා. භූමිතෙල්වලින් දල්වපු කුප්පි ලාම්පු එළියෙන් ඉන්න ඔබ අද කැමති නැහැ . මේවා ඔබේ ජීවන තත්ත්වය උසස් කරන්න කළ දේවල්. විදුලිය හැම ගමකටම, ගෙදරකටම දෙන්න ඕනෑ නම් අපි විදුලිය නිෂ්පාදනය කරන්න ඕනෑ. ඒ සඳහා අපි කොත්මලේ, නොරොච්චෝලේ, කෙරවළපිටිය විදුලි බලාගාර අලුතෙන් ඇති කළා. කුඩා විදුලි බලාගාර හැදුවා. මේවා හදන්නේ නැතිව විදුලිය දෙන්න බැහැ.

පසුගිය දිනවල සාක් සමුළුවට සහභාගී වෙන්න මම නේපාලයට ගියා. ඒ රටේ රාත්‍රී නමය වෙනවිට විදුලිය කපනවා. සමහර කඩවල්වල, නිවෙස්වල පමණක් විදුලිය තිබෙනවා. සූර්ය කෝෂවලින් විදුලිය ලබාගන්නවා. විශාල ජල සම්පතක් ඔවුන්ට තිබෙනවා. හිමාලයෙන් ගලා එන ගංගාවන් විශාල ප්‍රමාණයක් තිබෙනකොටත් පැය 24ම විදුලිය දෙන්න ඔවුන්ට තවම පුළුවන් වුණේ නැහැ. නමුත් අපි මේ අවුරුදු 10 තුළම පැය 24 ම විදුලිය දුන්නා. ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම විදුලිය දුන්නා.

නොරොච්චෝලේ අපිට හදන්න පරක්කු වුණේ ඇයි? මේ යෝජනා ගෙනාවේ මීට බොහෝ කාලයකට පෙර. සැලසුම් අනුවයි වැඩ කරන්නේ.

ආවාට ගියාට නෙවෙයි. ජාතික සැලසුමේ වසර ගණනක් තිබුණා. හදන්න ගියාම ඒ පළාතේ ජනතාව සියලු දෙනා එකතු වෙලා පෙළපාලි ගියා. ඡන්දය බලාගෙන හිටපු නායකයන් එය කල් දැම්මා. මම ආවට පසු මට තීන්දු කරන්න වුණේ ජනතාව කළුවරේ තබනවාද? ජන්දය බලාගෙන වැඩ කරනවා ද කියලා. ඡන්ද බලාගෙන වැඩ කරන්න ගියොත් ජනතාව කළුවරේ. ජනතාවට එළිය දෙන්න ගියොත් ඒ අය තරහ වෙනවා.

එහිදී අපි තීන්දු කළා ජනතාව කළුවරේ තියන්නේ නැහැ කියලා. එසේ නම් අපි මේවා හදන්න ඕනෑ. අපි ඉහළ කොත්මලේ හැදුවෙත් එහෙමයි. වෘත්තීය සමිති විරුද්ධ වුණා. නමුත් මේවා අවුරුදු ගණනාවක් තිබුණු යෝජනා. පසුගිය හැම රජයකම මේවා තිබුණා. එයාලා කළේ නැහැ.

ත්‍රස්තවාදය පරාජය කිරීම වගේම තමයි. අපිට තිබුණු වගකීම මේවා හදන්න. ඒ සඳහා ඒ වෘත්තිය සමිති සමග සාකච්ඡා කළා. එහිදී මම කිව්වේ “ඔබ තරහා වුණත් මේවා කරන්න ඕනෑ මේ රටේ ජනතාව වෙනුවෙන්” කියලා. සංවර්ධනය සඳහා මේවා ලබාදෙන්න ඕනෑ කියන පදනමේ ඉඳලා තමයි අපි වැඩ කළේ.

සංවර්ධනයට අපි මුල්තැන දුන්නා. හදලා ඉවර කරන කොට බනිනවා. වැඩක් නොකරන කෙනාට බනින්නේ නැහැ. ගමේ කතාවක් තිබෙනවා පිඟන්, වළං බිඳෙන්නේ හෝදන කෙනා අතින් කියලා. ගෙදර එක්කෙනා අතින් පිඟන් බිඳුණම මහත්තයා බැන්නට හරියන්නේ නැහැ. මොකද මහත්තයා පිඟන් හෝදන්නේ නැහැනේ. වැඩ කරන කෙනාට තමයි ප්‍රශ්න එන්නේ. අපිට වෙලා තිබෙන්නෙත් ඒ වගේ වැඩක්. අපි වැඩ කරලා බැනුම් අසනවා. එය මට ප්‍රශ්නයක් නෙවෙයි. වැඩ කරන්නයි මාව පත් කළේ. නැත්නම් 2005 දී අපිව පත්කරන්නේ නැහැනේ.

එදා අපිව පත්කළේ ත්‍රස්තවාදය අවසන් කරන්න. අපි එය කළා. 2010 දී පත් කළේ රට ගොඩනඟන්න. අඳුරෙන් එළියට ගන්න. කෘෂිකර්මාන්තය මේ රටේ ගොඩනගන්න අපිට අපේම ප්‍රතිපත්තියක් තිබුණා . ඒ නිසා අපි එකින් එක අරගෙන ආපස්සට ගිය කර්මාන්ත ඉදිරියට ගෙන ආවා. ආපස්සට ගිය පොල් කර්මාන්තය නැවත ගොඩනැඟුවා. ඊට අවශ්‍ය සහනාධාර විශාල වශයෙන් දුන්නා. පොහොරවල ඉඳලා පැළවලට යනතුරු මේ රටේ ජනතාවට ඒ කර්මාන්තය දියුණු කරන්න සහයෝගය දුන්නා. ඔබව සමාජයේ ඉහළට ගෙන එන්න අප මහන්සි වුණා.

ඒ නිසා තමයි අපි රබර් කර්මාන්තයට මිලක් දුන්නේ. ඒවා කරන කොට අපිට බනිනවා. චෝදනා කරනවා. හැබැයි චෝදනාවලට බයේ අපි නොකර සිටියා නම් වෙන්නේ කුමක්ද ? පසුගිය කාලයේ සිදුවුණේ ඒක. මුදල් වියදම් කළා. ජීවිතත් නැති වුණා. නමුත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් දුන්නේ නැහැ. එක් යුගයක මාස තුනෙන් රජයන් පෙරළුණා. ඉන්න මන්ත්‍රීවරුන් මුදලට ගන්නවා. පාර්ලිමේන්තුවෙන් පස් හය දෙනෙකු ගත්තු දවසට රජය පෙරළිලා. 2007 දීත් අපේ අයව ගන්න හැදුවා. ඒ කාලේ මම සිටියේ පිටරට. ඒ වෙලාවේ අපේ අය කලබල වෙලා එකතු වෙලා මට ආපසු එන්න කියා කතා කළා.

අපේ ගුවන් සේවය එදා විකුණා දමා තිබුණා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයෙන් ආසන ඉල්ලුවාම ආසනයක් දෙන්න පුළුවන් මට විතරයි කිව්වා. මට අසුනක් දුන්නත් මම සමග ගිය ආරක්ෂකයින්ට අසුන් දෙන්න බැහැ කිව්වා. එතකොට මම ත්‍රස්තවාදීන් ඉන්න කාලේ එන්න ඕනෑ ආරක්ෂාවත් නැතිව. ඒ කාලයේ මිහින් ලංකා ගුවන් සේවය හදලා තිබුණු නිසා ඒ යානයක් ගෙන්වාගෙන තමයි ශ්‍රී ලංකාවට ආවේ. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණපු එකේ වැරැද්ද.

රට විකුණුවා පමණක් නෙවෙයි මෙහි තිබෙන දේපළත් විකුණුවා. එදා තමයි මම තීරණය කළේ විකුණා දමා තිබූ එය ආපසු රජයට ගන්නවා කියලා. දැන් ආපසු එය ගොඩනඟාගෙන යනවා. රක්ෂණය විකුණා දමා තිබුණා එය ගත්තා. මහජන බැංකුව විකුණන්න සිටියා එය නැවැත්වුවා. විකුණා කන එක නෙවෙයි අපි කරන්න ඕනෑ. ගෙදර බඩු ටික විකුණලා කන සමාජයක්, රටක් අපට අවශ්‍ය නැහැ. මේවා ගැන සිතන්න ඕනෑ.

දේශීය නිෂ්පාදකයන්ගේ, දේශීය වගාකරුවන්ගේ ආර්ථිකය ගොඩනගන්න දායක වෙන්න අපි පියවර ගත්තා. ඔබේ කර්මාන්තය දියුණු කරන්න ප්‍රායෝගිකව දිය හැකි හැම සහයෝගයක්ම අපි ලබා දී තිබෙනවා. ඔබටත් යුතුකමක් තිබෙනවා. මේ රට අස්ථාවර කරන්න එපා. පසුගිය දිනක පුවත්පත්වල මම දුටුවා අල්ජසීරා නාලිකාවේ සාකච්ඡාවක කියලා තිබෙනවා මාව පරද්දවන්න එතකොට යුද අපරාධ චෝදනාවලට හේග්වලට ගෙනියන්න පුළුවන් කියලා.

ජනාධිපති වශයෙන් ඉන්නා තුරු මාව යුද අපරාධවලට ගෙනයන්න බැරි නිසා පරද්දලා දෙන්න කියනවා. ඊට පසු අපි අවශ්‍ය දේ කරන්නම් කියලා කියනවා. ඊට උල්පන්දම් දෙන්නේ අපේ රටේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්. එක්කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ. අනෙක් කෙනා අපේ ඉඳලා ගිය විජේසිංහ. මේ අයට අවශ්‍ය කුමක්ද? මෙතෙක් කල් ජීවිතය ගැන විශ්වාසයක් නැතිව හිටපු මිනිසුන්ට අභයදානය දුන්නාම එහි ප්‍රතිඑලය ලැබෙන්නේ ඒ ආකාරයටයි. ඒ පටු විදිහට හිතන නිසා. රටක් වශයෙන් නොසිතන නිසා.

හැම වෙලාවෙම අපේ යුතුකම හා වගකීම අපේ රට ගැන, ඉපදුණු මව්බිම ගැන සිතන එක. ඔබේ අනාගතය ඔබට පමණක් නොව ඔබේ දරුවාටත් තිබිය යුතුයි. අපි අනාගතය හදන්න ඕනෑ නූපන් දරුවාටයි. ඒකයි අවශ්‍ය. නැතිව අද කාලා හෙට අත පිසදා ගන්න නෙවෙයි. එහෙම සමාජයක් අපට අවශ්‍ය නැහැ. අපි හදන්න ඕනෑ ඈත බලන්න. අපි සැලසුම් සකස් කරන්නේ ඒ ආකාරයටයි. ඔබ අපිත් සමග අත්වැල් බැඳගන්න.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ භාෂාවෙන් අදහස් දක්වමින්.

ඔබ හැම දෙනාම අද දින හමුවීම මට ලොකු සතුටක්. රට පුරා ග්‍රාම සේවා මට්ටමේ කප්රුක සංගම් හරහා තමයි ඔබ හැමදෙනාම අද මෙහි පැමිණ සිටින්නේ. පොල් නිෂ්පාදනය තුළින් අදත් අපි විදේශ විනිමය ලබා ගන්නවා. පොල් පමණක් නොවෙයි ඒ හා සම්බන්ධ අනෙකුත් අතුරු නිෂ්පාදන තුළින් මේ රටේ වැඩි දෙනෙකුට රැකියා පහසුකම් සැලසී තිබෙනවා.

මහින්ද චින්තන වැඩපිළිවෙළ ජනතාව ඉදිරියේ ගෙන ගිය අවස්ථාවේ දී අපි ඔබ ගැන විශ්වාසය තැබුවා. එය අපතේ නොයන ආකාරයට ඔබ හැමෝම හොඳින්ම කටයුතු කළා. ඒක මම හොඳින්ම දන්නවා. ඒ වෙනුවෙන් මම ඔබලාට මගේ ස්තුතිය පිරිනමනවා.

නිවැරදි ප්‍රතිපත්තියක් නොතිබුණ නිසා ඒ කාලවල දී පොල් කර්මාන්ත ක්ෂේත්‍රයේ කටයුතු සාර්ථකව කර ගන්න බැරි වුණා. නමුත් අපි පහසුකම් රාශියක්ම ලබා දුන් නිසා අද අපි පොල් කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනයක් දකිනවා. එය රට පුරාම තව තවත් දියුණු වෙන්න ඕන. නව අයවැය තුළින් තවත් පහසුකම් සලසා දී තිබෙනවා. අද වගේම ඔබේ සහය කවදත් ලැබෙයි කියා මා විශ්වාස කරනවා. ඔබට මා ගැන විශ්වාසය තියන්න පුළුවන්. හැමවිටම විශ්වාසය තියන්න පුළුවන්. මා ඔබේ මිත්‍රයා, මා ඔබේ ඥාතියා, මා ඔබේ සහෝදරයා. මම හැමවිටම ඔබව ආරක්ෂා කරනවා.

පොල් සංවර්ධ ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා

ජනාධිපතිතුමා මහින්ද චින්තනය සහ මහින්ද චින්තනය ඉදිරි දැක්ම තුළින් දේශීයත්වයට ගරු කරමින් අප රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කරන්නට පියවර ගත්තා. මීට වසර දහයකට පමණ පෙර අපට තිබුණා හාල් වර්ගයක් ඉටි හාල් කියලා. අපේ දුෂ්කර පළාත්වල අය දන්නවා මේවා නියං කාලවලට සහනාධාර ලෙස දුන්නා. ඒ කාලයේ ගෙනත් දුන්නා පාන් පිටි. මේ සියල්ල පිටරට ගොවීන් වගා කරන දේවල්. අපේ ජනාධිපතිතුමා තීන්දු කළා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ලක්ම රට තුළම නිෂ්පාදනය කරන්න.

නියඟයක් ආවාම නිෂ්පාදන අඩු වෙනවා. මේක අපි තේරුම් ගත යුතුයි. පොල් නිෂ්පාදනය වැඩිම කාලයෙත් ඔබේ පොල් මිල අඩු කරන්න අප ඉඩ දුන්නේ නැහැ. මීට වසර හතරකට පෙර නිෂ්පාදනය අඩු වුණා. පොල් රුපියල් 70ට 80ට ගියා. අපි ඒක පාලනය කළා. ඊට පස්සේ වසරේ පොල් රුපියල් 10ට අඩු වුණා. පොල් මිල අඩු කරන්න විවිධ ක්‍රම තිබෙනවා. උදාහරණයක් විදියට පිටරටින් පාම් ඔයිල් ගේන්න පුළුවන්. එහි වාසිය යන්නේ ඉන්දුනීසියාවේ ගොවියාට. අපි තීන්දු කළා ගේන හැම පාම් ඔයිල් කිලෝවකටම රුපියල් 115 දක්වා බද්දක් අය කරන්න.

එහෙම කළේ පොල් ගොවියා ආරක්ෂා කරන්න. අපි මේ බද්ද අය කළාම ඉන්දුනීසියාව අපනයනයේ දී අය කළ බද්ද බින්දුවට බැස්සුවා. නමුත් අපි සැලුණේ නැහැ. ජනාධිපතිතුමා ප්‍රතිතප්තිමය තීන්දුවක් ගත්තා දේශීය නිෂ්පාදකයාට පළමු තැන දීමට. 2010 වසර වන විට පොල් වගා කිරීමේ මණ්ඩලය වසරකට වගා කළේ පොල් පැළ ලක්ෂ 20ක් පමණයි. අපි 2011 වසරේ පැළ ලක්ෂ 40 දක්වාත් 2012 දී පැළ 60 දක්වාත් වැඩි කළා. මේ වන විට වගා කරන ඉලක්කය සැලසුම් කළ ප්‍රමාණය ඉක්මවා ගිහින් තිබෙනවා.

ජනාධිපතිතුමා ජයග්‍රහණය කර වසරක් ඇතුළත ඇතිමලේට ගියා. ඇතිමලේටත් ත්‍රස්තවාදය ව්‍යාප්ත වෙලා තිබුණා. මාලිගාවිල හරහා බුත්තල යන්න ආපු බස් එකට වෙඩි තියලා 29 දෙනෙක් මරලා දැම්මා. ඒ තත්ත්වය අපි අමතක කළ යුතු නැහැ. අනුරාධපුරයට, පොළොන්නරුව ඇතුළු සියලු ජනතාව දුක් වින්ද හැටි අපට මතකයි. විදේශවලට ඕනේ වුණේ මේ යුද්ධය වවාගෙන කන්න. එක පැත්තකින් අපටත් අනෙක් පැත්තෙක් කොටින්ටත් ආයුධ විකුණපු ඒ අයට අද බිස්නස් එක නැති වෙලා. ඒ අයට නැවත අවශ්‍යයි මේ රට තුළ නැවත යුද්ධයක් ඇති කරන්න.

පොල් සංවර්ධන නියෝජ්‍ය ඇමැති වික්ටර් ඇන්ටනී බියන්විල

ජනාධිපතිතුමා ගෙන යන වේගවත් ගමනට දායක වෙන්න අප අමාත්‍යාංශය සැලසුම් කරලා තිබෙනවා. ජගත් පුෂ්පකුමාර ඇමැතිතුමා නිර්මාණශීලී ඇමැතිවරයකු ලෙස මේ වේගවත් ගමනට සූදානම්ව සිටිනවා. එදා ධනවත් ආර්ථිකයක් බවට පත් ව තිබුණු තේ,පොල්,රබර් අද වන විට සමාජවාදී ආර්ථිකයක් බවට පත් ව තිබෙනවා. එය ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක්. අද කුඩා තේ,පොල්,රබර් වතු හිමියන් ලක්ෂ ගණනක් බිහි වී තිබෙනවා. අද ඔවුන්ට සහන රැසක් සලසා තිබෙනවා.

පොල් සංවර්ධන ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ට ගමනක් අද දකින්නට ලැබෙනවා. මේ යන ගමන පොල් කර්මාන්තයේ සුවිශේෂ සංධිස්ථානයක් බවට පත් ව තිබෙනවා. එදා අක්කර පනහක් තියෙන්න ඕනේ කප්රුක සමිතියේ සාමාජිකත්වය ලබන්න. අද එහෙම නැහැ. පොල් පැළ දෙකක් තිබෙන දුප්පත් ජනතාවටටත් කප්රුක සමිතියේ සමාජිකත්වය ලබන්නට පුළුවනි. සමාජවාදී ගමනකට අවතීර්ණ වීමක් ලෙස මා දකිනවා. එදා අක්කර පනහක් තිබුණු අයට ලැබුණු සියලු අයිතිවාසිකම් අඩු ආදායම්ලාභී ජනතාවටත් ලැබෙනවා.

පොල් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජකරුණා, ශ්‍රී ලංකා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා