සිරිසේනගේ රාජ්‍යය මොකක්ද?

ජනපති රකින්නේ ඒකීය රටක්

රනිල් කියන්නේ එක්සත් රාජ්‍යයක්

චන්ද්‍රිකා කියන්නේ පෙඩරල් රාජ්‍යයක්

සිරිසේනගේ රාජ්‍යය මොකක්ද?

 ඇමැති විමල් ප්‍රශ්න කරයි

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද වන විට පාරේ යන අය සමඟත් ගිවිසුම් ගහන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා එක්ව මේ හදන්නේ මූණ ජපන්, කඳ ජර්මන්, කකුල ඉතාලි ව්‍යවස්ථාවක් දින 100 න් තුළ නිර්මාණය කිරීමට බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

ඇමති විමල් වීරවංශ මහතා පවසන්නේ චන්ද්‍රිකා නෝනාට අවශ්‍යව ඇත්තේ එක්සත් රට තුළ ෆෙඩරල් ක්‍රමවේදයක් බවත් එතුමියට අවශ්‍ය විවිධ කණ්ඩායම්, කල්ලිවල මන දොළ සපුරන රටක් නිර්මාණය කිරීමට බවත්ය. මෙවැනි තත්ත්වයක් මත ජාතික හෙළ උරුමය පවසන්නේ දින 100 ක ගිවිසුමකට තමන් එළඹ ඇති බවයි. මේ පිරිස පවසන දින 100 ගෙවුණාට පසු රටේ ඉදිරි ගමන කුමන තත්ත්වයකට යොමු වෙයිද? කියන ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන්නේ කවුරුන්ද යන්න ඇමතිවරයා ප්‍රශ්න කර සිටියි.

හෙතෙම මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 890 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කළ කොළඹ 10, මොහිදින් මස්ජිඩ් නිවාස සංකීර්ණය හා සංඝරාජ මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වෙමිණි. මෙම උත්සවය පෙරේදා (03) දින සංඝරාජ මාවත මහල් නිවාස සංකීර්ණ භූමියේදී පැවැත්විණ.

“මහින්ද චින්තන ඉදිරි දැක්ම ”අනුව ක්‍රියාත්මක වන “ජනසෙවණ - නගමු පුරවර ” ජාතික වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මඟපෙන්වීම හා මෙහෙයවීම මත මෙම මහල් නිවාස සංකීර්ණයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.

සංඝරාජ මාවත මහල් නිවාස සංකීර්ණය නිවාස 225 කින් සහ කඩ කාමර 30 කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 855 ක මුදලක් වැය වී ඇත. “ජනසෙවණ - නගමු පුරවර ”වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ 35 වන ව්‍යාපෘතිය වන්නේ මෙම මහල් නිවාස සංකීර්ණයයි.

රුපියල් ලක්ෂ 35 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කළ මොහිදින් මස්ජිඩ් මහල් නිවාස සංකීර්ණය ගොඩනැගිලි 2 කින් සහ නිවාස ඒකක 16 කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. මෙම මහල් නිවාස සංකීර්ණය “ නගමු පුරවර ”වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ 34 වන ව්‍යාපෘතියයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ ඇමතිවරයා මෙසේද කීය.

2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන විට නල දත වගේ හෙළ වෙන අස්ථාවර රටක් අපිට උරුම වී තිබුණා. එදා අවිනිශ්චිතභාවයකට පත්ව තිබූ මේ රට ඉන් මුදාගෙන ජන ජීවිතයට වගේම රටට නිශ්චිතභාවයක් උදා කළේ කවුද? කියන අවබෝධය අපට තිබිය යුතුයි. අනාගතයක් නැති රටකට සුභ අනාගතයක් උදා කළේ මහින්ද රාජපක්ෂ මහතා බව පැහැදිලියි. රට ලබන මේ ප්‍රගතිය, ස්ථාවරභාවය දැකලා සතුටුවීමට නොහැකි පිරිසක්, අද මේ රටේ ජනතාව තුළ බොරුව වපුරලා, නැවත වරක් අස්ථාවර රටක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. 2010 ජනාධිපතිවරණයේදී ආපු නැති අලියා 2015 දී හරි පැමිණෙයි කියන විශ්වාසය මේ රටේ ජනතාව තුළ තිබුණා. නමුත් ගිය පාර වගේම මෙවරත් අලියෙක් වෙනුවට කරලියට ආවේ බලියක්. 2010 දී යුධ හමුදාවේ කෙනෙක්ව මේ වැඩේට යොදා ගත්තා. මේ පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෙනෙක්ව යොදාගෙන තියෙනවා. ඊළඟ වාරයේදී වික්‍රමසිංහ මහත්තයා කොහෙන්ද මේ ඇහින්දාස් අපේක්ෂකයෙක්ව සොයා ගන්නේ? කියන ප්‍රශ්නය ජනතාවට තියෙනවා. වික්‍රමසිංහ මහත්තයා ඇහින්දාස් සෙල්ලමට දක්ෂයෙක්.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතිවූ අවබෝධතා ගිවිසුමේ නියම පිටපත ජනතාවට ඉදිරිපත් කළේ නැහැ. ඒ වෙනුවට සිදුකළේ එක්සත් ජාතික පක්ෂය සංශෝධනය කරපු පිටපත පමණක් ඉදිරිපත් කිරීමයි. පාරදෘශ්‍යභාවය පිළිබඳව නිරතුරුවම කතා කරන මේ අවුල් හවුල අමු අමුවේම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝණය කරමින් සිටිනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා යැයි පවසමින් මේ අවුල් හවුල සිදුකරන්නේ ඔළු දෙකේ විධායකයක් රට තුළ ගොඩනැගීමට උත්සාහ දැරීමයි. එක් පුද්ගලයෙකු අත පවතින විධායක ජනාධිපතිධූරයේ බලතල දෙදෙනෙකු අතර බෙදාදීමේ වෑයමක මේ අවුල් හවුල නිරතව සිටිනවා. මෙමඟින් සිදුවන්නේ ඒ අය බල අරගලයක නිරත වීමයි. එවිට සිදුවන්නේ අස්ථාවර පාලන තන්ත්‍රයක් බිහිවීම තුළ රට යන මේ ඉදිරි ගමන නතර වීමයි. නැවත වරක් ආපස්සට යන රටක් ජනතාවට උරුම වීමයි. මේ අවුල් හවුලේ ක්‍රියාපිළිවෙත අප සියලු දෙනාම මැනවින් අවබෝධ කරගත යුතුයි.

මෛත්‍රී සහ රනිල් සිටින වේදිකාවේ සිට චන්ද්‍රිකා නෝනා කියන්නේ එක්සත් රටක් ගොඩනැගිය යුතුයි කියලා. නමුත් ජනාධිපතිතුමා ගොඩනැගුවේ ඒකීය රටක්. එක් ධජයක් යටතේ සියලු දෙනා එකට එක්ව සිටින ඒකීය රටක් තමයි ජනාධිපතිතුමන් අපට උරුම කරදුන්නේ.

ලිබියාවේ ගඩාෆි පාලනය හොඳ නැති බව පවසමින් ලිබියාවට සිදුකරපු විනාශය අපට මතකයි. ගඩාෆි පාලනය ප්‍රජාතන්ත්‍රවාදී නැති බව පවසමින් ප්‍රජාතන්ත්‍රවාදය ලබාගැනීමට කුමන්ත්‍රණකාරී බලවේග ආයුධ සහිතව මහ මඟට පැමිණියා. අවසානයේදී ලිබියාවට අත් වූ ඉරණම කුමක්ද? කියලා අප දන්නවා. ලිබියාව අස්ථාවර කරපු පරිද්දෙන්ම ශ්‍රී ලංකාවත් අස්ථාවර කිරීමේ උත්සාහයක මේ අවුල් හවුල නිරතව සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරන කණ්ඩායම් තුළ විවිධාකාරයේ මතවාදයන් තියෙනවා. ඒ අයට පොදු ප්‍රතිපත්තියක් නැහැ. ඇත්තේ අවුල් සහගත ක්‍රියාවළියක් සහිත ප්‍රතිපත්තියක් පමණයි. මෙම පොදු අපේක්ෂක හවුල නියෝජනය කරන වික්‍රමසිංහ මහත්තයා පවා අද වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටිනවා. එතුමා මේ තත්ත්වයට පත්ව සිටින්නේ චන්ද්‍රිකා නෝනා ලබාදුන් ලණුවකට අනුව වැඩ කිරීම නිසයි.

විපක්ෂ නායකතුමා තමන්ගේ පක්ෂයේ කෙනෙකුට ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලබාදෙන්නේ නැහැ. ඒ වෙනුවට පක්ෂයට අයත් නොවන පිට කෙනෙකුට අපේක්ෂකත්වය ලබාදෙන්න එතුමා කැමතියි. එතුමා මෙවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නේ විපක්ෂ නායකකමයි, පක්ෂ නායකකමයි දෙකම ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා. එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ට මේ අපේක්ෂකත්වය ලබාදුන්නොත් විපක්ෂ නායකකමයි, පක්ෂ නායකමයි දෙකම තමන්ට අහිමි වන බව වික්‍රමසිංහ මහත්තයා දන්නවා. ගමේ එක්සත් ජාතික පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට පවසනවා. නමුත් වික්‍රමසිංහ මහත්තයා කැමති නැහැ සජිත් මහතාට මේ අපේක්ෂකත්වය ලබාදීලා තමන්ගේ විපක්ෂ නායකකමයි, පක්ෂ නායකකමයි නැමැති රැකියාව නැතිකරගැනීමට. එහෙම වුණාම වෙන්නේ වික්‍රමසිංහ මහත්තයා රැකියා විරහිතයින්ගේ කාණ්ඩයට වැටීමයි.

ඒ නිසා පක්ෂයෙන් පිට ඕනෑම කෙනෙකුට ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලබාදීමට වික්‍රමසිංහ මහත්තයා සූදානම්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජයග්‍රහණය කළත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේ නැහැ. චන්ද්‍රිකා නෝනා එහෙම කරන්න ඉඩ දෙන්නෙත් නැහැ කියලා වික්‍රමසිංහ මහත්තයට දැන් අවබෝධවෙලා තියෙනවා. මේ නිසා චන්ද්‍රිකා නෝනගේ බලි දිනවන්න වික්‍රමසිංහ මහත්තයට අවශ්‍යවෙලා නැහැ.

චන්ද්‍රිකා නෝනා කියනවා, යුද්ධය 75% ක්ම අවසන් කිරීමට පුළුවන් වුණා කියලා. එතකොට ජනාධිපතිතුමන්ට 25% යි යුද්ධය ඉවර කරන්න සිදුවෙලා තිබුණේ. මෙමඟින් පැහැදිලි වෙන්නේ මේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක අවුල් හවුල කියන බොරු කන්දරාවේ තරමයි. චන්ද්‍රිකා නෝනා කරපු යුද්ධයක් නැති බව ජනතාව දන්නවා. මැතිවරණයක් ළං වෙන විට එතුමිය යුද්ධ කරන බව අඟවනවා. මැතිවරණය අවසන් වුණාට පස්සේ නැවත වරක් සුදු නෙළුම්, තවලම් ක්‍රියාවළියට පැමිණෙනවා. මේ අනුව තමයි එතුමිය කියන්නේ තමන් යුද්ධය 75% කින් අවසන් කලා කියලා.

ප්‍රජාතන්ත්‍රවාදී මෝස්තර සටන් පාඨ ඉදිරිපත් කරමින් මේ බලවේගයන් රටේ පාලන බලය ඩැහැ ගැනීමේ උපායශීලී ක්‍රියාවලියක නිරත වෙනවා. නමුත් දිනාගත් ජයග්‍රහණයන් නැතිකරගෙන අපට නව ජයග්‍රහණයන් ලබාගැනීමෙන් පළක් වෙන්නේ නැහැ.

චන්ද්‍රිකා නෝනා ධූර කාල දෙකක් රට පාලනය කළා. නමුත් කොළඹ නගරයේ මෙවැනි පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණය කරන්න එතුමියට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 2 ක් රට පාලනය කළා. ඒ කාලයේදී කොටියට රට බෙදලා දෙන්න එතුමා කටයුතු කළාට මෙවැනි සංවර්ධන ව්‍යාපෘති සිදුකරන්න එතුමාට පුළුවන් වුණේ නැහැ. වර්තමානයේදී කොළඹ නගරය වාණිජ නගරයක් ලෙස පරිවර්තනය වෙනවා. කිසිදා සිදු නොවූ වෙනසක් කොළඹ නගරය තුළ ඇතිවෙනවා. කිසිම රාජ්‍ය පාලකයෙක් මේ ජනතාවගේ මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කරන්න අවධානය යොමු කළේ නැහැ. නමුත් මහන්ද රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා අප වෙත අවශ්‍ය ප්‍රතිපාදන පවා ලබාදීමට කටයුතු කළා. ජනතාව ගැන හිතන, රටට හෙටක් උදාකරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ආරක්ෂා කරගැනීම අපගේ වගකීමක්.

මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, රම්සි ටෝනි, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති ඒ.ඩබ්. දයානන්ද, එහි සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී උපාලි උපවංශ යන මහත්වරු, නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා