ජනපති මහින්ද වැඩි ඡන්ද විසිලක්ෂයකින් මෙවර ජනපතිවරණය ජය ගන්නවා

ජනපති මහින්ද වැඩි ඡන්ද විසිලක්ෂයකින් මෙවර ජනපතිවරණය ජය ගන්නවා

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

ලබන ජනවාරි 8 වැනි දින පවත්වන ජනාධිපතිවරණයෙන් වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ 20ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

පැලවත්ත ජී. එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයෙන් පිටත්වූ කඩුවෙල ජනතා පවුර සමගින්, මහින්ද ජනපති කරවන මහා ජනතා පාගමන ආරම්භ කිරීමට මත්තෙන් රැස්ව සිටි පන්දහසකට අධික ජනකායක් අමතමින් ප්‍රේමජයන්ත මහතා එසේ පැවසීය.

මෙ‍හිදී අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා තවදුරටත් මෙසේද කීය.

“අද වන විට මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඇත්තේ අසුද්ධ සංධානයක් පමණයි. රටේ ජනතාව රටේ ජනාධිපතිවරයා කවරෙක් ද යන්න දැනට තීරණය කර හමාරයි. එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ කෙනෙක් ජනාධිපති තරගයට ඉදිරිපත් කරන්නට බැරි තරමට පක්ෂය සෝදාපාලුවකට ලක්වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකයින් අද අතරමංවී සිටිනවා. කාටද ඡන්දය දෙන්නේ කියා තීරණය කරගන්න බැරි නිසා, අවසානයේ ඔවුන්ගේ ඡන්ද‍යත් මහින්දට දෙන බවට බොහෝ පාක්ෂිකයින් ප්‍රකාශකර තිබෙනවා.

කඩුවෙල මැතිවරණ කොට්ඨාසය පසුගිය හැම මැතිවරණයකින්ම වාර්තාවක් තබා තිබෙනවා. මෙවර වැඩි ඡන්ද 40,000කට වැඩියෙන් ජයග්‍රහණය කරන බවට, ප්‍රකාශකර සිටින බවද ප්‍රේමජයන්ත මහතා කීය.

කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා, කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ සෑම ශාඛා සංවිධානයකින්ම, සාමාජිකයින් දහස් ගණන් සහභාගිවී තිබීම අද මෙහිදී කැපී පෙනෙනවා. ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය අප නිරතුරුවම ආරක්ෂා කරන බව ද කීය. පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයෙන් පිටත්වූ මෙම පාගමන කඩුවෙල හංදියට පැමිණ නිමාවිය.

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයෙන් පාගමන ආරම්භ කිරීමට ප්‍රථම ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාක්ෂිකයන් ඇමතූ අයුරු. කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ද මේ අවස්ථාවට එක්විය. ඡායාරූපය -කෝට්ටේ මධ්‍යම සමූහ නන්ද ඒකනායක

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා