මෛත්‍රීපාල බිලි බෝයි කෙනකු වීම ගැන කනගාටු වෙනවා

මෛත්‍රීපාල බිලි බෝයි කෙනකු වීම ගැන කනගාටු වෙනවා

 - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

විධායකය මොට කර රට අරාජික තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර සහ රට තුළ ක්‍රියාත්මක වන ද්‍රෝහී බලවේග කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා බිලි බෝයි කෙනෙකු වීම පිළිබඳව තම සංවිධානය කනගාටුවට පත්වන බවත් බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ පසුගියදා (05) කොළඹ දී පැවැති ‘බොදු බල සේනා බොදු මහ සමුළුව” අමතමිනි. මෙය හයිඩ් පාර්ක් පිටියේ දී පැවැත්විණ.

යුදමය තත්ත්වය නැති කිරීමට ක්‍රියා කළ නායකයාට ඒ සඳහා සහභාගි වූවන්ට කෘතවේදිත්වය පිරිනැමිය යුතු යැයි ප්‍රකාශ කළ ඥාණසාර හිමියෝ 2010 ජනාධිපතිවරණයේ දී සිදුවුවා වැනි කුමන්ත්‍රණයක් යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් නායකයාට එරෙහිව වර්තමානයේ ද ක්‍රියාත්මක වන බව කීහ.

තවදුරටත් අදහස් දක්වන ඥාණසාර හිමියෝ,

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ප්‍රමුඛතම ව්‍යාපාරයක් ලෙස අප ක්‍රියාත්මක විය යුතුයි. මේ ජනාධිපතිවරණය අතිශයින්ම තීරණාත්මක නිසා අප රට පුරා යන්න තීරණය කළා.

අපත් සමඟ වැඩ කළ බොහෝ සංවිධාන නිහඬව වැඩ කළ යුතු බව, සෘජුව වැඩ කළ යුතු බව පැවසුවා. අමාරුවෙන් ගොඩ නැගූ බොදු පුනරුද ව්‍යාපාරයට හානි නොවන ලෙසයි අප කටයුතු කළ යුත්තේ. තීරණාත්මක අවස්ථාවේදී ජාතික ව්‍යාපාරයකට නිහඬව ඉන්න බැහැ. රට, දැය, සමය ඔසවා තැබීමයි අපගේ උත්සාහය. මේ අවස්ථාවේ බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. එය පරාජය කරන්න අප තීරණය කළා.

2015 සිදු කරන්න හදන කුමන්ත්‍රණය වැනි කුමන්ත්‍රණයක් 1815 සිදුවුණා. අදට එය සිදුවී අවුරුදු 200යි. එදා සිංහලේ රජ්ජුරුවෝ කන්ද උඩරට පාලනය කරද්දී උඩරට නිලමේවරුන්ට ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා නිලමේවරු සුද්දන්ට කත් ඇද රජ්ජුරුවෝ පරාජය කරන්න තීරණය කළා. බෙදීම් ඇති කළා. සිංහලයා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කළා. මේ සඳහා ඔවුන් සිංහල සෙනෙවිවරුන්මයි පාවිච්චි කළේ. අදත් එහෙම දෙයක් සිදුවන්නේ කියලා හිතෙනවා.

මේ කාරණා හෙළිදරව් කරද්දි අපි ගැන වැරදි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. දේශපාලනයට එන්නේ නෑ කියපු හාමුදුරුවරු මොකද කියන්නේ කියලා හිතෙනවා ඇති. මම ඒ දරුවන්ට, ජනතාවට කියන්නේ අප ආරම්භක අරමු‍ෙණන් මිදී නොමැති බවයි. ජනතාවගේ ඉදිරිය හදන්න සාමයෙන් පිරි රටක් අවශ්‍යයි.

බොදු බල සේනා තහනම් කරන්න කියා රාජිත කීවා. අපගේ නිමාව දකින්න බොහෝ දෙනා සිහින මැව්වා. අද ඒ අය එක පිලකට එක් වෙලා. රටට එරෙහිව මහා පාවාදීමක් අපට පෙනෙනවා. ජාතික ව්‍යාපාර, විනාශ කරන්නන් ද්‍රෝහීන් කටයුතු කරනවා. ජාතියට මල්ඵල ගෙනෙන්නයි අප කටයුතු කළ යුත්තේ. සිංහල බෞද්ධයන්ගේ පිලෙයි අපි ඉන්නේ. රට වෙනුවෙන් අපි අපේ මෙහෙවර කරනවා. රටට එරෙහිව තිබෙන කුමන්ත්‍රණය පරාජය කරන්නයි අපේ උත්සාහය.

විධායකය ඉවත් කිරීමක් ගැන අද කතා කරනවා. ගම්වල මිනිසුන්ට මේවා ගැන අවබෝධයක් නැහැ. ගමේ මිනිස්සුන්ට විධායකය ගැන ගැටලුවක් නැහැ. විධායකය අහෝසි කිරීමෙන් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ සමබරතාවය බිඳී යනවා. ගෝලීය අභියෝග හමුවේ ඓතිහාසික ජාතියක් විනාශ වන බව තේරුම් ගත යුතුයි.

විධායකය මොට කර රට අරාජික කරන්නයි ජාත්‍යන්තර සහ රට තුළ ක්‍රියාත්මක වන බලවේගවලට අවශ්‍යය. මේ විධායකය සම්පූර්ණයෙන් අහෝසි කළහොත් සිංහල ජනතාවට බරපතළ අර්බුදයකට මුහුණදීමට සිදුවෙනවා.

යුදමය තත්ත්වය නැති කිරීමට ක්‍රියා කළ නායකයින්ට, සහභාගි වූවන්ට අපි අපේ කෘතවේදිත්වය පිරිනැමිය යුතුයි. යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් නායකයාට වර්තමානයේ දී 2010 ක්‍රියාත්මක වන උගුලම ඇටෙව්වා.

රට දිනපු නායකයාට එරෙහිව ඔහුගේ යුද හමුදාපතිවරයා යෙදෙව්වා.

දෙමළ බෙදුම්වාදයේ දේශපාලන පෙරමුණත්, ජාත්‍යන්තර පෙරමුණත් අප පරාජය කළ යුතුයි. මේ පිබිදෙන දේශය ගැන අපට සතුටුයි. යුද්ධය ඉවර වෙලා තව අවුරුදු පහයි. අද බෝම්බ හඬ වෙඩි හඬ ඇසෙන්නේ නැහැ. ඒ නිසා කුමන්ත්‍රණය එන්නේ කොහෙන්ද කියලා අපට සිතා ගන්න බැහැ. අද චන්ද්‍රිකා කියනවා උතුරේ, නැ‍ඟෙනහිර කොටි නැහැ කියලා.

ප්‍රභාකරන් මැරූ පලිය ගන්න බලාගෙන ඉන්න බලවේගයි මේ කුමන්ත්‍රණ සඳහා ක්‍රියාත්මක වන්නේ. යුද්ධය දිනපු පිලේ හිටපු සිරිසේන මහතාව ඉස්සරහට දමලා මොවුන් ජයග්‍රහණය කළොත් 1815 සිදුවූ දේ රටට සිදුවෙනවා. සිංහල නායකයෝ විනාශ කර දමනවා. එල්.ටී.ටී.ඊ. විනාශ කරන්න කටයුතු කළ නායකයෝ විනාශ කරන්නයි මේ පිරිස් උත්සාහ කරන්නේ.

මේ අවස්ථාවේ ඡන්දය දිය යුත්තේ රට ගැන හිතලයි. රණවිරුවන් බේරා ගත් රට නැවත බෙදුම්වාදීන්ට ලබා දෙන්න බැහැ.

බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි -

අපේ සංවිධානය පිළිබඳ විවිධ මත ප්‍රකාශ වෙන්න පටන් අරන්. ඒවාට උත්තර දෙන්න තමයි මේ සමුළුව පවත්වන්නේ. අපේ දැනුවත් කිරීම් තුළින් රටේ දේශප්‍රේමී ජනතාව විශාල ලෙස අපි වටා එක්රොක් වුණා. මේ පිරිස අතර විවිධ මත දරන්නන් සිටියා.

මෙවර ජනාධිපතිවරණයේ අප ගන්න තීරණය පිළිබඳ මෙරට පිටරට ජනතාව බලා සිටියා. තීරණය ගැනීම සඳහා උගතුන්, යතිවරුන්, විවිධ ක්ෂේත්‍රයන්හී කණ්ඩායම් සමඟ අප දින ගණනාවක් සාකච්ඡා කළා ඒවායේ ප්‍රතිඵලයක් ලෙස තීන්දුවක් ගත්තා.

අප විපක්ෂයේ අපේක්ෂකයා සහ එම පාර්ශ්වයන් සමඟ එකට සිටගෙන සිටිය හැකි දැයි සොයා බැලුවා. අපි දැක්කා පොදු අ‍ෙප්ක්ෂකයාගේ පළමු මාධ්‍ය සාකච්ඡාව. ඔහුත් සමඟ සම්බන්ධ වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහ අපට දිගින් දිගටම චෝදනා කළ රාජිත සේනාරත්න මහතාත් මෙම දේශපාලනඥයන්ගේ අතීත හැසිරීම් හොඳින් නිරීක්ෂණය කළ විට අපේ ප්‍රතිපත්තිත් සමඟ පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන්න බැරි බව තීරණය කළා. බෙදුම්වාදයට අනුබල දුන් පුද්ගලයින් පොදු අපේක්ෂකයා සමඟ සිටියා. අප එම සතුරු බලවේගය පරාජය කරන්න තීරණය කළා. මෙම තීරණයත් සමඟ අපට චෝදනා එල්ල වුණා. අප කඩේ යනවා කීවා.

බොදු බල සේනා සංවිධානයේ තරුණ ජාලයේ සම්බන්ධීකාරක දිලාන් පංචන ජයසිංහ මහතා - අවුරුදු දෙකක් තිස්සේ අප සංවිධානය රට, ජාතිය, ආගමට තිබෙන තර්ජන, ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කළා. ඒ නිසා රටේ වැඩි පිරිසක් අපේ අරමුණ තේරුම් ගෙන තිබෙනවා. අපිට පැහැදිලි අභිමතාර්ථ තිබෙනවා. බුදුදහම පරපුරෙන් පරපුරට ගෙන යාමයි අපේ අරමුණ.

අප අතරම සිටින කොටසක් රට, ජාතිය, ආගම විනාශ කරන්න උත්සාහ කරනවා. අද හදිසි ජනාධිපතිවරණයක් පැමිණ තිබෙනවා.

මේ තීරණාත්මක අවස්ථාවේ අපි මොකක්ද කරන්න ඕනේ. රටට ඇතිවී තිබෙන අනතුරු අප හෙළි කළ යුතුයි. තරුණ පිරිසට රට වෙනුවෙන් විශාල සේවයක් කළ හැකියි. කළු සුද්දො ජාතික බලවේගය දියාරු කරන්න නිරන්තරව උත්සාහ කරනවා. මේවා පිළිබඳව අප නිවැරැදිව තේරුම් ගත යුතුයි.

අප අන්‍ය ආගමිකයින් සමඟ කිසිදු ගැටලුවක් නැහැ.

ඡායාරූපය

සුදත් නිශාන්ත

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා