දිඹුලාගල හිමි ඝාතනය අබිරහසක්

චන්ද්‍රිකා ජනපති සමයේ සිදුවූ

දිඹුලාගල හිමි ඝාතනය අබිරහසක්

 වත්මන් ආරණ්‍ය සේනාසනාධිපති හිමියෝ පවසති

- ආරක්ෂාවට යොදවා තිබූ හමුදා අනුඛණ්ඩය ඉවත් කරලා

- එවක ආණ්ඩුවේම පළාතේ ප්‍රබලයෙක් ඝාතනය ගැන දැන සිටියාද?

- ඝාතනය ගැන අසා දුක්වූ කොටි ත්‍රස්තයන් හඬා වැලපුණා

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර, කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය නොකළ බවත්, වෙනත් පිරිසක් විසින් කොටි පිට වරද පටවන්න කළ ඝාතනයක් බව පසුව දැනගන්නට ලැබුණා යැයි වත්මන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර හිමියෝ පැවසූහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී පැවති මාධ්‍ය හමුවකදී මල්දෙණියේ ජිනාලංකාර හිමියෝ මේ බව සඳහන් කළහ.

මෙහිදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේ ද කීය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වශයෙන් කටයුතු කළ අවදියේ 1996 මැයි 26 දින උදෑසන දිඹුලාගල නායක හිමියෝ වෙඩි ප්‍රහාරයකට ලක්ව අපවත් වුණා.

අපවත්වන්නට දින කිහිපයකට පෙර නායක හාමුදුරුවන්ගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා අනුඛණ්ඩය ඉවත්කර පොලිස් භටයින් දෙදෙනකු ලබාදී තිබුණා.

මෙදින උදෑසන නාහිමියන් කැබ්රියෙන් රියදුරු සමඟ ගොවිපලට යමින් සිටියදී මග රැකසිටි සන්නද්ධ පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ලකොට තිබෙනවා. වාහනයට පමණක් වෙඩි උණ්ඩ 87ක් වැදී තිබුණා. නාහිමියන් ඒ ස්ථානයේදීම අපවත් වුණා.

පෙර දවස්වල නාහිමියන් පිණ්ඩපාතය කරගෙන එන දානය කොටින්ට පවා ලබාදීමට ක්‍රියා කළා. උන්වහන්සේගේ අපවත්වීම නිසා දුකට පත් කොටි ත්‍රස්තවාදීන් පන්සලට පැමිණ හඬා වැළපුන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

 

කිතලගම ශ්‍රී සීලාලංකාර හිමි

නායක හාමුදුරුවන්ගේ ඝාතනයෙන් පසුව දින ගණනාවක්ම පන්සලේ හාමුදුරුවන් ලුණු කැඳ බීවා, කොළ, පොතු තම්බා වැළඳුවා.

දින 13ක් යනතුරු මේ අන්දමට සිටියා. කිසිම කෙනෙක් පන්සලට ආවේ නැහැ. ඉන්පසු ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් පැමිණ දානය ලබාදුන්නා.

කෙසේ වුණත් නායක හාමුදුරුවන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක අවසන් ගමන් ගියා. නායක හිමියන්ගේ වාහනයට පමණක් වෙඩි උණ්ඩ 87ක් වැදී තිබුණා. මේවා මේ කොටි කරපු වැඩක් නොවේ. කොටි පිට පටවන්න කිසියම් පිරිසක් කරපු දෙයක් බව පසුව තේරුම් ගියා.

නායක හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ පළාතේ අසරණවී සිටි දෙමළ ජනතාව ජීවත් වුණා. නායක හාමුදුරුවන්ගේ දේහය ළඟට පැමිණි කොටින් හඬා වැළපුණා.

නායක හිමියන්ගේ අභාවය අපට පමණක් නොව මුළු ලංකාවටම පාඩුවක්. මේ අන්දමට අපි පන්සල් හා විහාරස්ථාන බොහොම අමාරුවෙන් බලාගෙන සිටින විට මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වශයෙන් පත්වුණේ.

එතුමා මේ රට යුද බියෙන් මුදාගැනීමෙන් පසු අද මිනිසුන්ට නිදහසේ ජීවත්වන්නට පුළුවන් වී තිබෙනවා.

එදා පන්සල්වලට දානය ලැබුණේ නැහැ. අද දායකයින් පන්සල්වලට ඇවිත් නිදහසේ පින්දහම් කරනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ අවශේෂ කෙනෙක් නොවේ. පුරාණයේ අප රට රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමා නැවත ඉපදී මේ රට පරසතුරන්ගෙන් මුදාගෙන සංවර්ධන ක්‍රියාවලිය කරගෙන යනවා.

එතුමාට විරුද්ධ බලවේග කොතරම් තිබුණත් ඒවා මැඩගෙන නැවත වරක් මේ රටේ ජනාධිපති වශයෙන් අනිවාර්යයෙන් පත්වනවා.

ඒ සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දහස් සංඛ්‍යාත දායක දායිකාවන් එතුමාගේ ජයග්‍රහණය සඳහා ඡන්දය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා