ජනපති මහින්දගේ ජය වෙනුවෙන් පෙළ ගැසෙනවා

පැරැණි එජාප පාක්ෂිකයෝ කලකිරිලා

ජනපති මහින්දගේ ජය වෙනුවෙන් පෙළ ගැසෙනවා

රානි අධිකාරි ඇතුළු පවුලේ අය ජනපති හමුවෙති

එක්සත් ජාතික පක්ෂයේ සුදුස්සන් සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ජනාධිපති අපේක්ෂක ධූරයට තෝරා ගැනීම පිළිබඳ කළකිරුණු එහි පැරැණි පාක්ෂිකයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙති.

මෙවැනි පුද්ගලයකු තෝරා ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පාක්ෂිකයන්ට වෙඩි තැබූ බව පෙන්වා දෙන මෙම පිරිස කුමන කෙනෙහිළිකම් හමුවේ වුවද පක්ෂයේ රැදී සිටි පිරිස ඉන් බලවත් කළකිරීමකට පත්වූ බවත් කියා සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු වන ඒ. එම්. එස්. අධිකාරි මහතාගේ බිරිය වන රානි අධිකාරි මහත්මිය සිය පවුලේ සාමාජිකයන් සමඟ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කළාය. උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරියක වශයෙන් වසර 20ක් පමණ කටයුතු කළ රානි අධිකාරි මහත්මිය එහි දිස්ත්‍රික් සංවර්ධන සභාවේ ද වසර අටක් පමණ කටයුතු කර ඇත.

වසර 10ක් පමණ උතුරු මැද පළාත් සභාවේ විවිධ අමාත්‍ය ධූර දරමින් කටයුතු කළ එතුමිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප වී කටයුතු කළ එහි ප්‍රබල සාමාජිකාවකි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට නිදහසේ ජීවත්විය හැකි සාමකාමී රටක් ගොඩ නඟා දුන්නේ ජනාධිපතිතුමා බව මෙහිදී පැවසූ රානි අධිකාරි මහත්මිය මේ රට සංවර්ධනය කරා ගෙන යන්නේද ජනාධිපතිතුමා යැයි සියලුදෙනා පිළිගත යුතු බවත් අවධාරණය කළාය. එබැවින් තම ප්‍රතිපත්ති හැරදා රට ගොඩනඟන සැබෑ නායකයා සමඟ රටේ සංවර්ධනයට දායක වීමට තමන් තීරණය කළ බවත් ඇය කියා සිටියාය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ ඒ.එම්.එස් අධිකාරී මහතාගේ බිරිය වන උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීනී රානි අධිකාරී මහත්මිය සිය පවුලේ සාමාජික සාමාජිකාවන් සමඟ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර එහිදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපය - උදේශ් ගුණරත්න

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා