අ.පො.ස. සා.පෙළ විභාගය හෙට සිට

අ.පො.ස. සා.පෙළ විභාගය හෙට සිට

විභාගය ලබන 18 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පෙනී සිටින මුළු අපේකෂකයින් සංඛ්‍යාව 577220ක් වේ.

පාසල් අයදුම්කරුවන් 370739ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 206481ක් ද විභාගය සඳහා පෙනී සිටින අතර නයිනතිව්,ඩෙල්ෆ්,අනලතිව් දූපත්ඇතුලුව මධ්‍යස්ථාන 4279ක විභාගය පැවැත්වීමට සියලු කටයතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 532ක් ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇත.‍

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා රත්මලාන අන්ධ විදුහල, මාතර රෝහණ අඳ බිහිරි විදුහල හා හලාවත මහවැව ශිවරාජ විදුහල මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරෙන අතර සාමාන්‍ය මධ්‍යස්ථානවලද විශේෂ අවශ්‍යතා සහිත දරුවන් විභාගයට පෙනී සිටීමට නියමිත අතර විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 540ක් විභාගයට පෙනී සිටීමට නියමිතය. මීට අමතරව බන්ධනාගාර රැඳවියන් සඳහා නව මැගසින් බන්ධනාගාරය, බොරැල්ල හා පාදුක්ක, වටරැක සුනීත විදුහල මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කෙරේ.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා කාර්ය මණ්ඩලය 38200ක් යොදවා ඇත.

විභාගය දිනපතා පෙරවරු 8.30 ආරම්භ කෙරෙන අතර ලියාපදිංචි හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආයුතු අතර යම් විමසීමක් ඇත්නම් විභාගයට පෙර කල් වේලා ඇතිව විභාග දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතු වේ.

විභාග හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට අවසර නොලත් කිසිවකුට ඇතුල් විය නොහැකි අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, පෙළපාලි, රැස්වීම්, උද්ඝෝෂණ, සංගීත සංදර්ශන, විවිධ ප්‍රසංග සහ විභාගයට බාධා සිදුවන කටයුතු සිදු නොකළ යුතු අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

විභාගය පැවැත්වෙන දිනවල ඇතිවිය හැකි වැසි සහිත කාලගුණ තත්ත්වයන් හා නායයාම් පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස සියලුම අපේක්ෂකයන්ගෙන් හා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග සම්බන්ධයෙන් හෝ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විභාග ශාලාවක සිදුවන වංචා සම්බන්ධයෙන් තොරතුරු මෙම දුරකතන අංකවලට 0112785211, 0112785212, 0112784208, 0112784537, 1911, 0112421111, 119,හෝ ෆාක්ස් අංක 0112784422 ලබා දෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා