සංගා-මැතිව්ස්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් සිවුවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංගා-මැතිව්ස්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් සිවුවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

කුමාර් සංගක්කාරගේ විශිෂ්ට ඉනිමත්, නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සටන්කාමී පිතිහරඹයත් මත එංගලන්තය සමග ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මේ ජයග්‍රහණයත් සමග තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙයි.

ස්ටීවන් ෆින් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරයේ දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 4ක් අවශ්‍යව තිබූ අතර පළමු පන්දුවට ළහිරු තිරිමාන්න එක් ලකුණක් ලබා පන්දුවට පහරදීමේ අවස්ථාව නායක මැතිව්ස්ට ලබා දුන්නේය. ෆින්ගේ දෙවැනි හා තුන්වැනි පන්දු හමුවේ තරමක පසුබෑමක් පෙන්නුම් කළ මැතිව්ස් සිවුවැනි ඕවරයේ දී දර්ශනීය හතරේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනිටුහන් කළේය. ඒ සමගම ඔහුගේ අර්ධ ශතකය වාර්තා විය. ඉනිම නිමාවනවිට මැතිව්ස් නොදැවී ලකුණු 51ක් ද, ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 19ක් ද ලබා සිටියහ. දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 53ක් විය.

ලකුණු 28දී පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව පිටියට පැමිණි කුමාර් සංගක්කාර මේ තරගාවලියේ පිට පිට සිය තුන්වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ අතර නායක මැතිව්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවේ ජයමාවත විවර කර දුන්නේය. ශ්‍රී ලංකා ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 214ක්ව තිබියදී ඔහු දැවී ගියේ ක්‍රිස් ජෝර්ඩන්ගේ පන්දුවකට ක්‍රිස් වෝක්ස් වෙත උඩපන්දුවක් ලබාදීමෙනි. ඒ වනවිට පන්දු 105කට මුහුණ දී හතරේ පහර 7ක් එල්ල කිරීමට ඔහු සමත්විය.

ඔහු ලකුණු 66ක් ලබා සිටිය දී මේ වසරේ එක්දින පිටියේ ලකුණු දහසේ සීමාව පසුකළ තුන්වැනි පිතිකරු ලෙස වාර්තාපොතට එක්විය. ඊට පෙර නායක මැතිව්ස් හා ඉන්දියාවේ විරාත් කෝලි මේ වාර්තාවට හිමිකම් කීහ.

ලකුණු 69දී දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව මහේල ජයවර්ධන සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ‍‍ගොඩනැගූ සංගක්කාර ඊයේ වාර්තා කළේ සිය එක්දින තරග දිවියේ 90වැනි අර්ධ ශතකයයි.

ඔහුට අගනා සහයක් ලබාදුන් මහේල පන්දු 50කදී ලකුණු 44ක් ලබා ගත්තේය. මහේලගේ ඉනිම නිමාවට පත්වූයේ ජෝර්ඩන්ගේ පන්දුවක් පිත්තේ අග කෙළවර වැදී කඩුල්ල වෙතට ඇදී යාමෙනි. ඒ වනවිට ශ්‍රී ලංකාව ඕවර 31.2කදී ලකුණු 165ක් ලබා සිටි‍යේය.

ලකුණු 266ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල සාර්ථක ආරම්භයක් ලබා සිටියදී ආරම්භක පිතිකරුවන්ගේ සම්බන්ධතාව ලකුණු 28දී බිඳ දැමුවේ ක්‍රිස් වෝක්ස් සමත්විය.

ඔහුගේ පන්දුවකට තිලකරත්න ඩිල්ෂාන් මිඩ් ඕන් කලාපය වෙත ඉහළින් එල්ල කළ දැවැන්ත ඔයින් මෝගන් සුරක්ෂිතව රැක ගැනීමෙන් ඩිල්ෂාන්ගේ ඉනිම ලකුණු 16කට සීමාවිය.

අනතුරුව කුසල් ජනිත් පෙරේරා සමග එක්වූ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 69 දක්වා රැගෙන ගියේය. කුසල් ජනිත් දැවී ගියේ මුයින් අලීගේ පන්දුවකට ස්ලිප් ක්‍රීඩක ක්‍රිස් ජෝර්ඩන් අතට උඩපන්දුවක් ලබාදීමෙනි. ලකුණු 31කට කුසල් ජනිත් දැවී යද්දී දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි. මහේල හා සංගක්කාරගේ ලකුණු 96ක අනගි සම්බන්ධතාව ගොඩනැගුණේ ඉන් අනතුරුවය. පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2ක් දවාලීය. තරගයේ වීරයා සම්මානය හිමිකරගනු ලැබුවේ කුමාර් සංගක්කාර විසිනි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ වැඩබලන නායක ඔයින් මෝගන් පළමුව පන්දුවට පහරදීමේ වාරය තම පිලට ලබා ගත්තේ පිතිකරුවන්ට වාසි සහගත ආර්.ප්‍රේමදාස තණතීරුවේ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහු‍ගේ බලාපොරොත්තු බිඳ දමමින් එංගලන්ත ඉනිමේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවෙන් ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු ලබා ගැනීමට පෙර දවාලීමට ධම්මික ප්‍රසාද් සමත්විය. ඒ වනවිට එංගලන්තය ලබා සිටියේ ලකුණු 4ක් පමණි.

අනතුරුව මුයීන් අලි සමග එක්වූ නවක පිතිකරු ජේම්ස් ටේලර් එංගලන්ත ඉනිම ගොඩ නැංවීමට පටන් ගත්තේය. ටේලර් ඊයේ තරගයට එක්වූයේ නායක අලෙස්ටෙයාර් කුක්ගේ අඩුපාඩුව පුරවාලමිනි. එංගලන්ත නායකයාට ඊයේ තරගය අහිමිවූයේ හම්බන්තොට පැවැති තරගයේ දී නියමිත කාලය තුල ඕවර ප්‍රමාණය සම්පූර්ණ කිරීමට අසමත්වීම මතය.

ටේලර් ආරම්භක පිතිකරු අලි සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 24ක සම්බන්ධතාවක් ගොඩ නගමින් සිටිය දී තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවකට ස්ලිප් හී පන්දු රැකීමේ නිරතව සිටි මහේල ජයවර්ධන අතට උඩපන්දුවක් දී ලකුණු 19කට අලී දැවී යනවිට එංගලන්ත ලකුණු පුවරුව 29ක් විය.

අනතුරුව ජෝ රූට් සමග එක්ව එංගලන්ත ඉනිම ලකුණු 122 දක්වා ඉහළ දැමීමට ටේලර් සමත්විය. දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලට ලකුණු 93ක අගනා සම්බන්ධතාවක් ගොඩ නැගිණි. හේරත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් රූට්ගේ ඉනිම ලකුණු 36කට සීමා විය.

මුලු ලකුණු සංඛ්‍යාව 170ක්ව තිබියදී ටේලර්ගේ අනගි ඉනිම බිඳ දැමීමට අජන්ත මෙන්ඩිස් සමත්විය. ඔහු දැවී ගියේ කුසල් පෙරේරා අතට උඩපන්දුවක් ලබා දීමෙනි. පන්දු 109කට මුහුණ දුන් ටේලර් සිය ඉනිම හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එකතු කළේය.

ටේලර් ඊයේ සහභාගී වූයේ ඔහුගේ තුන්වැනි එක්දින තරගයට වීම විශේෂත්වයකි. ඊට පෙර ඔහු අවසන් වරට එංගලන්ත පිල නියෝජනය කළේ පසුගිය වසරේ අයර්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියේදීය. සිය නායකයාගේ අඩුව මැනවින් පුරවාලූ ටේලර් ඊයේ තරගයේ දී එංගලන්ත ඉනිම ලකුණු 90කින් වර්ණවත් කිරීමට සමත්විය.

එය ඔහුගේ එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. ටේලර්ගේ දැවීයාමෙන් පසුව රවී බොපාරා ඩිල්ෂාන් යැවූ ඊළඟ ඕවරයේ දී ලකුණු 22කට දැවී ගියේය. එංගලන්ත ඉනිමේ 6වැනි කඩුල්ල ලෙස ලකුණු 15ක් ලබා සිටි ජොස් ‍බට්ලර් දැවී ගියේ හේරත්ගේ පන්දුවකට මහේල ජයවර්ධන අතට උඩපන්දුවක් ලබාදීමෙනි. වැඩ බලන නායක ඔයින් මෝගන් ඊයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 62කි. කඩුලු රකින කුමාර් සංගක්කාර වෙත උඩපන්දුවක් ලබාදී මෝගන් දැවී ගියේ ඩිල්ෂාන් යැවූ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දුවටය.

එංගලන්ත ඉනිමේ 49වැනි ඕවරය නිමාවනවිට මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 9කට 247ක් විය.

එහෙත් ඩිල්ෂාන් විසින් යවන ලද ඉනිමේ අවසන් ඕවරයේ දී ලකුණු 18ක් සොරා ගැනීමට මෝගන් සමත්විය.

එම ඕවරයේ පළමු හා දෙවැනි පන්දුවලට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කළ මෝගන් සිවුවැනි පන්දුවට හතරේ පහරක් ද, පස්වැනි පන්දුවට ලකුණු දෙකක් ද ලබා ගැනීමට සමත්විය.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන්, හේරත් සහ අජන්ත මෙන්ඩිස් අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය. දෙපිල අතර පස්වැනි එක්දින තරගය ලබන 10වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

එංගලන්තය

එම්.අලී ඇ.සංගක්කාර ප.ඩිල්ෂාන් 19

ඒ.හෙල්ස් ඇ.ජයවර්ධන ප.ප්‍රසාද් 0

ජේ.ටේලර් ඇ.කුසල් ප.ඒ.මෙන්ඩිස් 90

ජේ.රූට් ප.හේරත් 36

ආර්.බොපාරා ප.ඩිල්ෂාන් 22

ඊ.මෝගන් ඇ.සංගක්කාර ප.ඩිල්ෂාන් 62

ජේ.බට්ලර් ඇ.ජයවර්ධන ප.හේරත් 15

බි‍.ස්ටෝක්ස් ඇ.පෙරේරා ප.ඒ.මෙන්ඩිස් 6

සී.වෝක්ස් ප.හේරත් 6

සී.ජෝර්ඩන් ඇ.පෙරේරා ප.ඒ.මෙන්ඩිස් 1

එස්.ෆින් නොදැවී 1

අතිරේක 7

එකතුව සියල්ලන් දැවී (ඕවර 50) 265

කඩුලු බිඳ වැටීම: 1-5, 2-29, 3-122, 4-170, 5-173, 6-203, 7-219, 8-238, 9-245

පන්දු යැවීම: මැතිව්ස් 6-0-21-0, ප්‍රසාද් 6-1-29-1, ඩිල්ෂාන් 10-0-64-3, පෙරේරා 2-0-19-0, හේරත් 10-0-36-3, ජී.මෙන්ඩිස් 7-1-39-0, ඒ‍.මෙන්ඩිස් 9-0-56-3

 

ශ්‍රී ලංකාව

ටී‍‍.එම්.ඩිල්ෂාන් ඇ.මෝගන් ප‍.වෝක්ස් 16

කේ.ජනිත් ඇ.ජෝර්ඩන් ප.අලී 31

කේ.සංගක්කාර ඇ.වෝක්ස් ප.ජෝර්ඩන් 86

එම්.ජයවර්ධන ප.ජෝර්ඩන් 44

ඒ.මැතිව්ස් නොදැවී 51

එල්.තිරිමාන්න නොදැවී 19

අතිරේක 20

එකතුව කඩුලු 4ක් දැවී (ඕවර 49.4) 267

කඩුලු බිඳ වැටීම: 1-28, 2-69, 3-165, 4-214

පන්දු යැවීම: ෆින් 9.4-0-61-0, වෝක්ස් 9-0-53-1, අලී 10-0-44-1, ජෝර්ඩන් 10-0-35-2, රූට් 6-0-29-0,බොපාරා 3-0-16-0, ස්ටොක්ස් 2-0-21-0

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා