ජනපති ජය වෙනුවෙන් අප සැවොම කැපවෙනවා

ජනපති ජය වෙනුවෙන් අප සැවොම කැපවෙනවා

- කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රා. සභා මන්ත්‍රීවරු 15දෙනා දිවුරා පොරොන්දු වෙති

පිල් මාරුකර රංගනයක යෙදුණු කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ දේශපාලන තීන්දුව පෞද්ගලික හේතුවක් මත සිදුකළ වරදක් සේ දකින බව එම ප්‍රාදේශීය සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන ප්‍රින්ස් ගුණසේකර මහතා පවසයි.

ඒ මහතා එසේ කීවේ පොදු අපේක්ෂකයාට සහය දැක්වීමක් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර ගිය ප්‍රසන්න සෝලංග ආරච්චි මහතාට එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ විරෝධය දැක්වීමක් වශයෙන්  “කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ මහ ගෙදර” උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවට එක්ව කරන ලද කතිකාවේදීය.

ජනාධිපතිතුමාගේ ආශීර්වාදය මැද ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති වශයෙන්ද සිටින හෙතෙම සිය දේශපාලන ගුරුවරයා වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අභාවයෙන් පසුව කොළොන්නාව ආසන සංවිධායක ධුරය ඉල්ලා ඇති බව ද එය ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම සිද්ධියට ප්‍රධාන හේතුව බව ද ප්‍රින්ස් ගුණසේකර මහතා කීය. භාරත ඝාතනයද ඊට තවත් හේතුවක් බව ඔහු කීවත් එය තවමත් අධිකරණයේ පවතින නඩුවක් බව ද කී ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැන්න සභාපතිවරයා ගියේ ප්‍රාදේශීය සභාවට සත පහක්වත් සිය ධුර කාලයේ දී ලබා නුදුන්නු චන්ද්‍රිකාගේ ඔඩොක්කුවට බවද කීය. උප සභාපති සුමුදු රුක්ෂාන් මහතා - කවුරු ගියත් මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ මහතා දිනන එක ඉරහඳ සේ විශ්වාසයි. එම නිසා සභාපතිවරයා ගියාට අපේ ප්‍රාදේශීය සභාවේ ඉන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 15 දෙනාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තකා එකාවන්ව වැඩ කරනවා.

ප්‍රා‍ෙද්ශීය සභා මන්ත්‍රී පී. එස්. පෙරේරා මහතා සභාපතිවරයකු වශයෙන් සිටිය දී එතුමා සුර සැප වින්දේ ජනාධිපතිතුමා නිසායි. ඔහුගේ මේ ඉවත්වීමත් සමඟ විශාල සාමාජික පිරිසක් පැරණි ප්‍රශ්න සියල්ල ඉවත දමා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසී සිටිනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී විපුල නානායක්කාර මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලෙස ඉන්නා අපට කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සෑදුවේ ජනාධිපතිවරයායි. එතුමාට විරුද්ධව පක්ෂය හැර යාම ද්‍රෝහි ක්‍රියාවකි. සෞම්‍ය රත්නායක, අජිත් ගුණසේකර, හේමසිරි අමරසිංහ, රචිත ප්‍රියංකර මහත්වරු ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද මෙම අවස්ථාව නියෝජනය කළහ.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රා‍ෙද්ශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සම්පුර්ණ සහය ලබා දෙන බව ඊයේ ගොතටුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කරුණු පැහැදිලි කළහ. ඉන්පසු ජනාධිපතිතුමාට සහය පළ කිරීමේ උද්ඝෝෂණයක් පැවැත්වූ අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ. ඡායාරූපය - කැලුම් ලියනගේ

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා