තුන්කොන් ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාවට

තුන්කොන් ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාවට

ග්ලෙන් මැක්ස්වෙල්ගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හේතුවෙන් ඊයේ පර්ත් නුවර පැවැති කාල්ටන් මිඩ් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් එංගලන්තය ලකුණු 112කින් පරාජය කළ ඔස්ට්‍රේලියාව ශූරතාව දිනාගත්තේය. පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවි රැස් කළ ලකුණු 278 හඹා ගිය එංගලන්තය ඕවර 39.1කදි ලකුණු 166කට දැවී ගියේය.

ලකුණු 60කට කඩුලු 4ක් බිඳ වැටුණු මොහොතේ මිචෙල් මාෂ් සමග එක්වූ ග්ලෙන් මැක්ස්වෙල් පස්වැනි කඩුල්ලට ලකුණු 141ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය එක්දින තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 95ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී එංගලන්ත පිලේ කඩුලු 4ක් ලකුණු 46කට දවාලමින් හොඳම පන්දු යැවීම ද සටහන් කළේය. මිචෙල් මාෂ් ලකුණු 60ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූයේ රවී බොපාරාය. ඔහු ලකුණු 33ක් රැස් කළ අතර ඉනිම බිඳ දැමූ මැක්ස්වෙල්ට අනගි සහයක් ලබාදුන් මිචෙල් ජොන්සන් කඩුලු 3ක් දවාලීය. තරගයේ විරයා සම්මානය මැක්ස්වෙල්ට හිමිවූ අතර මිචෙල් ස්ටාක් තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.

ඔස්ට්‍රේලියාව - 278/8 (ඕවර 50) ග්ලෙන් මැක්ස්වෙල් 95, මිචෙල් මාෂ් 60, ජේම්ස් ෆුල්ක්නර් නොදැවී 50, ස්ටීවන් ස්මිත් 40 (ස්ටුවර්ට් බ්‍රෝඩ් 55/3, ජේම්ස් ඇන්ඩර්සන් 38/2)

එංගලන්තය - 166 ( ඕවර 39.1) රවී බොපාරා 33, මුයින් අලී 26, ජෝ රූට් 25, ස්ටුවර්ට් බ්‍රෝඩ් 24 (ග්ලෙන් මැක්ස්වෙල් 46/4, මිචෙල් ජොන්සන් 27/3)

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා