කුරුණෑගල පරාජය කළ මහනුවර ක්‍රීඩිකාවෝ ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාව රැගෙන යති

කුරුණෑගල පරාජය කළ මහනුවර ක්‍රීඩිකාවෝ ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාව රැගෙන යති

- දක්ෂතම යොවුන් ක්‍රීඩිකාව කන්ද උඩරටින්

අන්තර් ක්‍රීඩා සමාජ ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාව මහනුවර දිස්ත්‍රික් පිල දිනාගත්තේය. කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්වු ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී කුරුණෑගල දිස්ත්‍රික් යොවුන් ක්‍රීඩිකාවෝ ලකුණු 38-32කින් මහනුවර පිල වෙතින් පරාජයට පත්වූහ. තරගයේ පළමු භාගයේදී ලකුණු 20-13ක් ලෙස මහනුවර යොවුන් ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටියහ. මහනුවර පිල ගයනි දිසානායකගේ නායකත්වයෙන් ද කුරුණෑගල පිල දුලංගි චමත්කාගේ නායකත්වයෙන් ක්‍රීඩා පිටියට පිවිසි අතර ජාතික පිලට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවෝ රැසක් ද මෙවර තරගාවලියට එක්ව සිටියහ.

කණ්ඩායම් 16ක් සහභාගිවූ ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි නෙට්බෝල් රැජන සම්මානය මහනුවර දිස්ත්‍රික් පිලේ ගයාංජලී අමරවංශ දිනාගත්තාය. නැගී එන ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා පාසල් පිලේ මලිති කබ්රාල්, දක්ෂතම විදින්නිය නුවර දිස්ත්‍රික් ක්‍රීඩා සමාජයේ කවීනා රාජපක්ෂ, දක්ෂතම රකින්නිය කුරුණෑගල දිස්ත්‍රික් පිලේ රුක්ෂලා හපුආරච්චි හා දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස නුවර දිස්ත්‍රික් පිලේ කාවින්ද්‍යා ගුණසේකර සම්මාන දිනා ගත්හ.

ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියට සමගාමීව පැවැති ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාව ‍පොලිස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර අනුශූරතාව එක්ස්පෝ ලංකා පිලට හිමිවිය. එම කණ්ඩායම් දෙක අතර තරගයේදී ලකුණු 35-32ක ජයක් ශ්‍රී ලංකා පොලිසියට හිමිවිය. එම ආරාධිත තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාවන් ලෙස පොලිස් පිලේ ජයනි උපේන්ද්‍ර හා එක්ස්පෝ ලංකා පිලේ ශ්‍යාමලී දිනේෂා සම්මානයට පාත්‍ර වූහ.

සංවිධායක මණ්ඩලයෙන් චෝදනාවක්

ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියට සහභාගිවීමට අපෙක්ෂාවෙන් සිටි කණ්ඩායම් කිහිපයකට එක්තරා පිරිසක් බලපෑම් කළ බව තරගාවලියේ සංවිධායක‍යෝ චෝදනා කරති. මේ තරගාවලියට කණ්ඩායම් 26ක් පමණ සහභාගිවීමට සිටියද කණ්ඩායම් දහයක් පමණ එම බලපෑම් හේතුවෙන් සහභාගි නොවූ බව ඔවුහු පෙන්වා දෙති. නෙට්බෝල් අතුරු කමිටුව විසිරුවා තිබුණද කලින් සංවිධානය කළ තරගාවලියක් හෙයින් මෙය පැවැත්වීමට කටයුතු කළ බව නෙට්බෝල් අතුරු කමිටු ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

මේ ජාතික කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාව පැවැත්වූයේ වසර 3කට පසුවීමද විශේෂත්වයකි.

ජාතික කනිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් සංවර්ධන සංචිතයට නම් කිරීමට පියවර ගැනේ.

මහනුවර (සුදු) කුරුණෑගල (රතු) කණ්ඩායම් අතර අවසන් ගැටුමේ උණුසුම් අවස්ථාවක්.

ඡායාරූප-ප්‍රින්ස් ගුණසේකර

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා