හම්බන්තොට ෂාක්ස් සහ සී.එච්. පිල ඉවත් වෙති

අන්තර් සමාජ පළමු පෙළ රගර් තරගාවලියෙන්

හම්බන්තොට ෂාක්ස් සහ සී.එච්. පිල ඉවත් වෙති

අන්තර්සමාජ පළමුපෙළ රගර් තරගාවලියට එක්වී සිටි සී.එච්. කණ්ඩායම සහ හම්බන්තොට ෂාක්ස් පිල දෙවැනි වටයේ තුන්වැනි සතියේ සිට තරගාවලියෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා රගර් සංගමයේ ලේකම් නලීන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර ඔවුන් පළමුපෙළ තරගාවලියෙන් ඉවත්වන බවට විවිධ මත පළවී තිබූ අතර පසුගියදා පැවැති රගර් සංගමයේ විධායක කමිටු රැස්වීමේ දී ඒ සම්බන්ධව අවසන් තීරණයට එළැඹුණු බව රගර් ලේකම්වරයා කියා සිටියේය.

‘ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයන් විවිධ ආබාධවලට ලක්වී සිටීම තමයි ආසන්න වශයෙන්ම මෙවර තරගවාරයෙන් ඔවුන් ඉවත්වීමට හේතු වශයෙන් කියා සිටියේ. ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවට ආදේශ කිරීමට වෙනත් ක්‍රීඩකයන් නොමැති බැවින් ඔවුන් ඒ තීරණයට එළැඹුණු බවයි පැවැසුවේ. ඒ වගේම තවත් නොවැලැක්විය හැකි හේතු කිහිපයක් තිබෙන බවත් ඔවුන් අප වෙත දන්වා තිබෙනවා’ නලීන් ද සිල්වා මහතා කීවේය.

මේ අනුව හම්බන්තොට ෂාක්ස් සහ සී.එච්. කණ්ඩායම් සමග අනිකුත් කණ්ඩායම් අතර පැවැති සියලුම තරගවල ප්‍රතිඵල හා ලකුණු ශූන්‍ය කළ බව ද රගර් ලේකම්වරයා පැවැසීය.

ඉහත සඳහන් කළ කණ්ඩායම්වලට ඇතුළත්ව සිටි දේශීය හා විදේශීය ක්‍රීඩකයන්ට සෙසු ක්‍රීඩා සමාජවලට එක්වී ක්‍රීඩා කිරිමට අවසරය ලබා දුන් බව ද ඒ මහතා කීවේය.

‘සාමාන්‍ය යෙන් පළමු පෙළ රගර් තරගාවලියක දී ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ යම් ක්‍රීඩකයකුට වෙනත් ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීමට නීතිය අනුව අවසර ලැබෙන්නේ නෑ. නමුත් මෙය විශේෂ අවස්ථාවක් ලෙස සළකා අපි හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවා ඔවුන්ට ඒ අවසරය ලබා දුන්නා’ රගර් ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේවූවත් එම ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් මේ වනතුරු වෙනත් ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීමට අවසර ඉල්ලා නොමැති බව ද ඔහු පැවැසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා