වරාය අධිකාරිය දෙවැනි ජය ලබයි

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට්

වරාය අධිකාරිය දෙවැනි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියට අදාළ පැවැති තරගයකින් ප්‍රබල එස්.එස්.සී ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට වරාය අධිකාරිය සමත්විය.

වරාය අධිකාරිය මෙවර තරගවාරයේ ලබාගත් දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර පළමු සතියේ පැවැති තරගයෙන් සී.සී.සී ක්‍රීඩා සමාජය ඉනිමකින් පරාජයට පත්කළේය.

එස්.එස්.සී ක්‍රීඩා සමාජය වසර 9කට පසු ලද පූර්ණ පරාජය මෙය වීම විශේෂත්වයකි. වරාය අධිකාරිය වසර 2011දී ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව ප්‍රබල එස්.එස්.සී ක්‍රීඩා සමාජය පරාජයට පත්කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

මේ අතර එන්.සී.සී හා සී.සී.සී ක්‍රීඩා සමාජය තම දෙවැනි ජයග්‍රහණයන් වාර්තා කිරීමටද ඊයේ සමත්විය. බ්ලූම්ෆීල්ඩ් පිලට තම පළමු ජයග්‍රහණ වාර්තා කිරීමටද ඊයේ හැකිවිය.

එන්.සී.සී පිල හමුවේ ද්‍රවිඩ සංගම් පිල කඩුලු 6කින් පරාජයට පත්වූ අතර සී.සී.සී පිල හමුවේ ලකුණු 97කින් සැරසන්ස් ක්‍රීඩා සමාජයද පරාජයට පත්විණි. බ්ලූම්ෆීල්ඩ් පිල ගුවන් හමුදාව පරාජය කළේ කඩුලු 9කිනි. මේ අතර බදුරලිය-කෝල්ට්ස් (මග්ගොන) හා මුවර්ස්-හලාවත තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තෙවැනි සති අන්තයේදී පැවැති තරගවලින් හොඳම ඉනිම වාර්තා වූයේ බදුරලිය ක්‍රීඩා සමාජයේ මිලින්ද සිරිවර්ධන වෙතිනි. ඔහු ලකුණු 180ක් රැස්කළ අතර පන්දු 271කට මුහුණදී තිබිණි. එම ඉනිම හතරේ පහර 23කින් හා හයේ පහරකින් වර්ණවත් විය. මේ අතර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ උමේග චතුරංග සමත්විය. ඔහු ලකුණු 76කට කඩුලු 8ක් දවාගත් අතර ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ චාමිකර වීරසිංහ ද කඩුලු 8ක් දවාගත්තේය. ඒ සඳහා ඔහු ලකුණු 108ක් ලබාදී තිබුණි. දෙනුවන් රාජකරුණා 143 (මුවර්ස්), නිරෝෂන් දික්වැල්ල 108 (එන්.සී.සී), දවාන් දේවින්ද 103 (එන්.සී.සී), ස්කොට් බෝත්වික් ‍102 (හලාවත) හා ලසිත් අබේරත්න 101 (සී.සී.සී) ශතක වාර්තා කළහ.

* එස්.එස්.සී-වරාය

එස්.එස්.සී පළමු ඉනිම-185 (ඕවර 39.2) (මදුසංක ඒකනායක 51/4) සහ දෙවැනි ඉනිම-256 (ඕවර 70.3) විශ්ව විජේරත්න 55, චරිත් ජයම්පති 54 (මිලින්ද පුෂ්පකුමාර 60/4)

වරාය අධිකාරිය පළමු ඉනිම-286 (ඕවර 76) ශානුක දිසානායක නොදැවී 74, මහේල උඩවත්ත 50 (බිනුර ප්‍රනාන්දු 75/4) සහ දෙවැනි ඉනිම-159/6 (ඕවර 45.3) රනේෂ් පෙරේරා නොදැවී 50

* ද්‍රවිඩ සංගම්-එන්.සී.සී

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම-252 (ඕවර 78.1) නිසල තාරක 55 (තරිඳු කෞෂාල් 63/3) සහ දෙවැනි ඉනිම-167 (ඕවර 50.3) රුමේෂ් බුද්ධික නොදැවී 58 (සෙහාන් බොරලැස්ස 46/4)

එන්.සී.සී පළමු ඉනිම-344 (ඕවර 69.3) නිරෝෂන් දික්වැල්ල 108, දවාන් දේවින්ද 103 (චාමිකර වීරසිංහ 108/8) සහ දෙවැනි ඉනිම-76/4 (ඕවර 21)

* ගුවන් හමුදා-බ්ලූම්ෆීල්ඩ්

ගුවන් හමුදා පළමු ඉනිම-144 (ඕවර 36.3) (සුරාජ් රන්දීව් 30/5, ලහිරු මදුසංක 48/4) සහ දෙවැනි ඉනිම-267 (ඕවර 57.1) සොහාන් රංගික 50, අකිල ඉසංක 50

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම-305 (ඕවර 85.2) නිපුණ කරුණානායක 78, තොමස් වෙස්ලි 77 සහ දෙවැනි ඉනිම-107/1 (ඕවර 19.5) ප්‍රිමෝෂ් පෙරේරා 59

* සී.සී.සී-සැරසන්ස්

සී.සී.සී-181 (ඕවර 49.5) (රජිත් ප්‍රියාන් 69/4, බුද්ධික සංජීව 44/3) සහ දෙවැනි ඉනිම-330/6 (ඕවර 74) ඉනිම අත්හිටුවන ලදි. ලසිත් අබේරත්න නොදැවී 101, චාමර සිල්වා 76, හසිත ප්‍රනාන්දු 51

සැරසන්ස් පළමු ඉනිම-192 (ඕවර 53.2) ගමිඳු කනිෂ්ක 60 (දිනුක් හෙට්ටිආරච්චි 65/4) සහ දෙවැනි-223 (ඕවර 74.3) චානක රුවන්සිරි 53 (මදූක ලියනපතිරණගේ 44/6 )

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා