පාපන්දු විධායක සභාව උණුසුම් නිලවරණය කල් යයි

පාපන්දු විධායක සභාව උණුසුම් නිලවරණය කල් යයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව උණුසුම් වෙයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණය හා විගණන වාර්තාව නීති විරෝධී බව පවසමින් විධායක සභිකයින් කිහිපදෙනකු අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

ශ්‍රී ලංකා පාපන්දු නිවහනේ පෙරේදා පැවැති විධායක සභා රැස්වීමේදී පාපන්දු හිටපු සභාපති සරත් වීරසේකර, උප සභාපතිවරුන් වන නීතිඥ මනිල් ප්‍රනාන්දු, සුනිල් සෙනවීර, ලීග් සභාපති හර්ලි සිල්වේරා හා තාක්ෂණික කමිටු සභාපති රෝහිත ප්‍රනාන්දු යන මහත්වරු දිගින් දිගටම අදහස් ප්‍රකාශ කොට ඇත.

වාර්ෂික මහ සභාව හා නිලවරණය නොපවත්වන ලෙස අධිකරණ නි‍යෝගයක් තිබියදී නව නිලධාරීන් පත්කර ගැනීමට දින නියම කිරීමට යෑම හා රජයේ විගණකාධිපති වෙත ව්‍යාජ තොරතුරු දන්වමින් ලිපියක් යැවීම ඇතුලු කරුණු රැසක් මෙහිදී අභියෝගයට ලක්විය.

පසුගිය කාලයේ සිටි නිලධාරියකු අපහසුතාවට ලක්වන ආකාරයෙන් රජයේ විගණකාධිපති වෙත යැවූ එම ලිපිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස කළ ඉල්ලීමට විධායක සභාවේ ඒකමතික සහයෝගයද පළවී ඇත.

විධායක සභාවේ දී මතුකළ ප්‍රශ්න අනුව පාපන්දු නිලවරණයට දින නියම කිරීමද කල් දැමීමට සිදුව ඇත.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ පාපන්දු නිලවරණය මාර්තු 31 දිනට පෙර පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.

“නිලවරණයට බිය අය ප්‍රශ්න මතු කරනවා. අධිකරණයට අප ගරු කළ යුතුයි. නිලවරණය තරමක් දුරට කල් යයි. පසුගිය කාලයේ පාපන්දු ගනු-දෙනු ඇතුළත් රජයේ විගණන වාර්තාව ඉදිරිපත් කළා. ප්‍රශ්න ගණනාවක් ආවා. කවදත් එරෙහිව පාර්ශවය විරුද්ධව අදහස් දැක්වීම ගැන පුදුම විය යුතු නැ” රුද්‍රිගු මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයක් පවත්වා ඡන්ද විමසීමක් වසර 19කදී සිදුව නොමැත. මෙතෙක් සෑම වසරකදීම විධායක සභාවේ එකඟතාවෙන් නිතරගයෙන් නිලතල බෙදා ගැනීම සිදුව තිබේ. එහෙත් ඉදිරියේ පවත්වන නිලවරණයේදී ඡන්ද විමසීමක් ඇති බවට බොහෝදෙනා විශ්වාසය පළ කරති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා