මහනුවර-සී.ආර්. තරගය ජය පරාජයක් නෑ

මහනුවර-සී.ආර්. තරගය ජය පරාජයක් නෑ

පළමුභාගයේ ලකුණු 17-3ක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ දරුණු පසුබෑමකට ලක්වූව ද දෙවැනි භාගයේ වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරතවූ සී.ආර්.පිල අන්තර් සමාජ පළමුපෙළ රගර් තරගාවලියේ දෙවැනි වටයේ තුන්වැනි සතියේ සී.ආර්.පිටියේ පැවැති තරගය ලකුණු 27-27ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට සමත්විය. මහනුවර ක්‍රීඩා සමාජය ලැබූ ලකුණු සංඛ්‍යාවට ගෝල් දෙකක්, උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් එක්වූ අතර සී.ආර්.පිල ගෝල් තුනක් සහ දඬුවම් පහර දෙකක් මගින් සිය ලකුණු සංඛ්‍යාව රැස් කළේය.

තරගයේ පළමුභාගය නිමාවෙද්දී දඬුවම් පහරක් පමණක් ලබා සිටි සී.ආර්.පිල දෙවැනි භාගයේ දී තරගයේ සම්පූර්ණ ගෞරවය අත්කර ගැනීම කැපී පෙනුණි. දෙවැනි භාගය ආරම්භයේ දීම රාහුල් ද සිල්වාගේ විශිෂ්ට උත්සාහක දිනුමක් කාංචන රාමනායක සාර්ථක පහරින් සිය පළමුගෝලය රැස් කළ සී.ආර්.පිලට දැඩි අභියෝගයක් එල්ල කළ මහනුවර ක්‍රීඩකයන් දඬුවම් පහරක් සහ ගෝලයක් රැස් කරමින් සිය ලකුණු සංඛ්‍යාව 27 දක්වා ඉහළ දැමුවේය.

අනතුරුව සසංක ආරියරත්න සහ රොබී මැල්නීක්ගේ උත්සාහක දිනුම් දෙකම ගෝල බවට පත්කළ රාමනායක දඬුවම් පහරක් ද සාර්ථක කරගනිමින් සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 27 දක්වා ඉහළ දැමුවේ මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණයේ මං අහුරා දමමිනි. මහනුවර කණ්ඩායම වෙනුවෙන් රිචඩ් ධර්මපාල, ක්‍රිස්ටෝපර් ක්ලෝටේ, ශෂික ජයවර්ධන සහ ෆාසීල් මරිජා උත්සාහක දිනුම් රැස් කළහ.

යුද හමුදාවට 24-13ක ජයක්

මේ අතර ගුවන් හමුදා කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 24-13කින් ජයගැනීමට යුද හමුදා පිල සමත්විය. තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 24-8කින් පෙරමුණ ගත් යුද හමුදාවට දෙවැනි භාගයේ දි දැඩි අභියෝගයක් එල්ල කළ ගුවන් හමුදා පිල උත්සාහක දිනුමක් රැස් කළ ද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ නැත.

යුද හමුදාව රැස් කළ ලකුණු සංඛ්‍යාවට ගෝල් දෙකක් සහ උත්සාහක දිනුම් දෙකක් ඇතුළත් විය. ගුවන් හමුදාවේ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් එක්විය.

මහනුවර- සී.ආර්. තරගයෙන්... ඡායාරූපය-සුලෝචන ගමගේ

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා