විත්තිකරුට දුන් මාස 6ක සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි

පයාගල පාසලක සිසුන්ට ගංජා විකිණීමේ නඩුව

විත්තිකරුට දුන් මාස 6ක සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි

අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

ත්‍රිරෝද රථයක තබාගෙන පාසල් සිසුනට ගංජා අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවීම නිසා කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියම කර තිබූ මාස 6ක සිර දඬුවමට එරෙහිව චූදිත ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ කළුතර මහාධිකරණ විනිසුරු පී. පද්මන් සූරසේන මහතා කලින් නියම කර තිබූ සිර දඬුවම ස්ථිර කළේය.

මෙසේ සිර දඬුවම් නියම වූයේ උතුරු පයාගල පදිංචිකරුවකුටයි.

පයාගල, ප්‍රසිද්ධ පාසලක් අසල ත්‍රිරෝද රථයක තබාගෙන පාසල් සිසුන්ට ගංජා අලෙවි කරන බවට විදුහල්පතිවරයාගෙන් ලද තොරතුරු අනුව ගංජා ග්‍රෑම් 12ක් සමඟ පයාගල පොලිසිය මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

මහාධිකරණය මගින් දෙන ලද නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මාරි ෆොන්සේකා මහත්මිය මෙහිදී මහාධිකරණයට දැනුම් දුන්නාය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අසංක මෙන්ඩිස් මහතා මෙහිදී පැමිණිල්ල මෙහෙයවීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා