සොරාගත් ත්‍රිරෝද රියේ කොටස් ගලවද්දී දැලේ

සොරාගත් ත්‍රිරෝද රියේ කොටස් ගලවද්දී දැලේ

අඹතැන්න නගරය ආසන්නයේ මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රීවිල් රථයක් චුදිතයන් තිදෙනෙකු විසින් සොරාගෙන ගොස් දිවා කාලයේ සඟවා තබා රාත්‍රී කොටස්වලට වෙන් කරමින් සිටියදී එක් සැකකරුවෙකු සමඟ සොරාගත් ත්‍රීවිල් රථය අත්අඩංගුවට ගැනීමට කටුගස්තොට පොලිසිය සමත්ව ඇත.

රුපියල් දෙලක්ෂ තිස්පන්දාහක් (රු.2.35000/-) වටිනා අංක සී.පී.කිව්.එෆ්.0855 දරන ත්‍රිරෝද රථයේ හිමිකරු පෙදරේරුවෙකි. මෙදින තම ත්‍රීවිල් රථයෙන් අඹතැන්න නගරය ආසන්නයට ගොස් මාර්ගය අයිනේ නවතා ඔහු විසින් කුලී පදනම මත ගොඩනඟනා නිවෙසේ කටයුතු සඳහා ගොස් ඇත.

මෙසේ වැඩකරමින් සිටි අතර තමාගේ ත්‍රීවිල් රථය පරීක්ෂා කිරීමට පෙ.ව.11.00ට පමණ එම ස්ථානයට පැමිණ ඇත. එවිට තම රථය සොරාගෙන ගොස් ඇති බව දැනගත් මොහු කටුගස්තොට පොලිසිය වෙත ගොස් අපරාධ අංශයට පැමිණිලි කර ඇත.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙදිනම රාත්‍රී මුල්ලේගම ප්‍රදේශයේ ජංගම සංචාරයේ ගිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට සොරකම්කළ ත්‍රීවිල් රථයක් “දිවානවත්ත” ප්‍රදේශයේ සඟවා ඇති බවට තොරතුරක් ලැබී ඇත. මේ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට යනවිටත් සැකකරුවන් තිදෙනා ත්‍රීවිල් රථය කොටස් කරමින් සිටිනවා දැක ඇත. පොලිසිය දකින විට සැකකරුවන් දෙදෙනෙක් පලාගොස් ඇත. එක් සැකකරුවකු සමඟ ත්‍රීවිල් රථය අත්අඩංගුවට ගත් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත. මෙහිදී සැකකරු ඇප මත මුදාහැර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා