ආසියානු රගර් සංගමයෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්

ආසියානු රගර් සංගමයෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්

රගර් උපසභාපති ලසිත ගුණරත්න

ලබන මැයි මස 31වැනිදාට පෙර නිලවරණය පැවැත්වීමට අසමත්වුවහොත් ශ්‍රී ලංකාව ලෝක රගර් සංගමයේ තහනමට ලක්වීමට ඉඩ ඇතැයි ආසියානු රගර් සංගමය විසින් ශ්‍රී ලංකා රගර් සංගමයට අනතුරු ඇඟවූ බව එම සංගමයේ උපසභාපති ලසිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

ක්‍රීඩා සංගම් නිලවරණ පසුගිය මාර්තු මස 31වැනිදාට පෙර පැවැත්විය යුතුව තිබුණ ද ක්‍රීඩා පනතේ යම් යම් වගන්ති පිළිබඳ නිතිපති උපදෙස් ලබාගත් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා නැවත නාමයෝජනා කැඳවමින් ක්‍රීඩා සංගම් නිලවරණ ලබන මැයි මස දක්වා කල් දැමීමට තීරණය කළ අතර පසුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටියේ මෙරට ක්‍රීඩා සංගම් නිලවරණ කල්දැමීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රීඩාවේ තහනමකට ලක්වීමේ අවදානමක් මතුවීමට ඉඩ තිබෙන බවය. ආසියානු රගර් සංගමය ශ්‍රී ලංකා රගර් සංගමයට අනතුරු අඟවා ඇත්තේ මේ කරුණ පිළිබඳ අවධානය යොමුකරමිනි.

රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා විදෙස්ගතව සිටින බැවින් රගර් නිලවරණය පිළිබඳ එහි උපසභාපති ලසිත ගුණරත්න මහතාගෙන් ‘දිනමිණ‘ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන තම සංගමයේ නිලවරණය ලබන මැයි මස 14වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද ගුණරත්න මහතා සඳහන් කළේය. එහෙත් නැවත ඉදිරිපත් කොට තිබෙන නාමයෝජනා හා මීට පෙර ඉදිරිපත් කළ නාමයෝජනා අතර කිසිදු වෙනසක් නොවන බව ද ඔහු කීවේය.

ඒ අනුව රගර් සභාපති තනතුර සඳහා අසංග සෙනෙවිරත්න, උප සභාපති ලසිත ගුණරත්න, ලේකම් නලීන් ද සිල්වා සහ භාණ්ඩාගාරික තනතුර සඳහා කිරාන් අතපත්තු යන මහත්වරු අදාල තනතුරු සඳහා නැවත යෝජනා වී තිබේ.

මීට පෙර එම සංගමයේ නිලවරණය මාර්තු මස 7වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර ක්‍රීඩා අමාත්‍යවරයා සංශෝධිත නව ක්‍රීඩා පනත හා ක්‍රීඩා සංගම් නිලවරණ සම්බන්ධව නීතිපති උපදෙස් බලාපොරොත්තුව සිටින බැවින් රගර් නිලවරණය කල් දමන ලෙස ඊට දිනකට පෙර එවකට හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය රගර් සංගමයට දන්වා තිබිණි.

ක්‍රීඩා පනතට අනුව 4ක කාලයක් යම්කිසි ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක ප්‍රධාන තනතුරු දරා ඇති කිසිදු නිලධාරියකුට නැවත එම තනතුරු සඳහා ඉදිරිපත් වීමේ නොහැකිබවට නීතිපති උපදෙස් ලැබීම මත සියලුම ක්‍රීඩා සංගම්වලින් යළි නාමයෝජනා කැඳවීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුව තීරණය කළේය.

කරුණු එසේ වූවද ක්‍රීඩා පනතට අනුව වසර 4ක සීමාව බලපානු ලබන්නේ යම්කිසි ක්‍රීඩා සංගමයක සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු සඳහා පමණක් බව ලසිත ගුණරත්න මහතා අවධාරණය කළේය. උපසභාපති, උපලේකම්, උපභාණ්ඩාගාරික වැනි තනතුරු සම්බන්ධව ක්‍රීඩා පනතේ කිසිදු වගන්තියක් සඳහන් නොවන බව ඒ මහතා කීවේය. එම තනතුරු සම්බන්ධව යම් වගන්තියක් ඇතුලත්වූයේ වසර 2013 සංශෝධිත ක්‍රීඩා පනතේ පමණක් බව ද ගුණරත්න මහතා පැහැදිලි කළේය.

‘වසර 4ක කාලයක් යම්කිසි ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක ප්‍රධාන නිලතල දැරූ පුද්ගලයන්ට නැවත එම තනතුරු සඳහා ඉදිරිපත්වීමට 2013 දී සංශෝධිත ක්‍රීඩා පනතට අනුව එවකට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ලිඛිත අවසරය ලැබී තිබුණා. නමුත් දැන් ක්‍රීඩා අමාත්‍යංශය ඊට පෙර ක්‍රීඩා පනත ක්‍රියාත්මක වූ ආකාරයට කටයුතු කිරිමට තීරණය කරමින් වසර 4ක සීමාව යළි පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ක්‍රීඩා සංගමයක උප සභාපති, උප ලේකම් හා උපභාණ්ඩාගාරික වැනි තනතුරු ක්‍රීඩා පනතට ඇතුලත් වුණේ සංශෝධිත 2013 ක්‍රීඩා පනතේ පමණයි. එහෙත් ඔවුන් එම තනතුරු සඳහාත් මේ නීතිය ක්‍රියාත්මක කිරීම කණගාටුවට කරුණක්. ක්‍රීඩා පනතේ වගේම රගර් ව්‍යවස්ථාව අනුවත් එවැනි උප තනතුරකට නිශ්චිත කාල සීමාවක් සඳහන් වන්නේ නෑ. ලසිත ගුණරත්න කීවේය

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා