මොහමඩ් අලිට වඩා මම ශ්‍රේෂ්ඨයි

මොහමඩ් අලිට වඩා මම ශ්‍රේෂ්ඨයි

- ෆ්ලොයිඩ් මේවෙදර්

‘ශ්‍රේෂ්ඨතමයා’ ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන මොහමඩ් අලි ට වඩා තමා දක්ෂයෙකු බව ෆ්ලොයිඩ් මේවෙදර් පවසයි.

“මම නිකම්ම නිකම් දක්ෂයෙකු නොවේ. මම මොහමඩ් අලිටත් වඩා දක්ෂයෙක්” යැයි තමා පිළිබඳව කිසිවිටෙකත් අවතක්සේරුවෙන් කතා නොකරණ අමෙරිකාවේ මේවෙදර් කියයි.

පිලිපීන ජාතික මැනී පැකියාඕ සමග මැයි 2 වැනිදා ලාස් වේගාස්හි පැවැත්වීමට නියමිත සුපිරි බොක්සිං තරගයට තවත් සතියක් වැනි කාලයක් තිබියදී මේවෙදර් කියා සිටින්නේ තමාගේ ක්‍රීඩා දිවිය හා නිර්දෝෂී වාර්තාව තමාගේ හැකියාවන් ගැන සාක්ෂි දරණ බවයි. මේවෙදර් මෙතෙක් කිසිම තරගයකින් පරාජය වී නැත.

“අලි වගේම මමත් බොක්සිං ක්‍රීඩාවේ දස්කම් දක්වා තියෙනවා” මේවෙදර් ප්‍රකාශ කරයි. “වයස අවුරුදු 38දීත් මම වගේ දක්ෂයෙකුව සිටින්න වෙන කෙනෙකුට අමාරුයි. මම අලි ට අගෞරව කරනවා නෙවෙයි. නමුත් වඩාත් දක්ෂයා මම බව මට හැඟෙනවා.”

අලි, අනෙකුත් ප්‍රතිවාදීන්ද ඇතුළුව 1978 වසරේදී ලියොන් ස්පින්ක්ස් ට ද පරාජය වූවද තමා සතුව ජයග්‍රහණ 47–0ක පරිපූර්ණ වාර්තාවක් තිබෙන බව මේවෙදර් පෙන්වා දෙයි.

“අලි ඔහුගේ බොක්සිං දිවියේදී ස්පින්ක්ස්ට පැරදුණා. ඔහු තවත් තරග පරාජය වුනා. නමුත් තවමත් ඔහුව හඳුන්වන්නේ ‘ශ්‍රේෂ්ඨතමයා’ කියලයි.”

මේවෙදර් හා පැකියාඕ අතර පැවැත්වෙන වෙල්ටර්වේට් බොක්සිං ගැටුමෙන් ඩොලර් මිලියන 400ක වාර්තාගත ආදායමක් ඉපයෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම්.ජී.එම්. ග්‍රෑන්ඩ් බොක්සිං වළල්ලේ පැවැත්වෙන මේ තරගයේදී පැකියාවෝගේ මව්රටේ බොක්සිං ක්‍රීඩා ලෝලීන් පවා තමාට ‘චියර්’ කරනු ඇතැයි මේවෙදර් කියයි.

“මට කැමැත්තක් දක්වන පිලිපීන ක්‍රීඩා ලෝලීන් සිටින බව මට හොඳටම විශ්වාසයි” වර්තමානයේ ලොව ඉහළින්ම වැජඹෙන අමෙරිකානු බොක්සිං ශූරයා පවසයි. බොක්සිං වළල්ලේ ලැබූ සාර්ථකත්වය නිසා දේශපාලනය, සංගීතය හා සිනමාවට මං විවර වීමට පෙර වීදිවල රැකියාව කළ පැකියාවෝ පිලිපීනයේ වීරයෙකි.

මේවෙදර්ගේ පසුබිම්බියට ඩොලර් මිලියන සියයකට වැඩි මුදලක් වැටෙන මේ තරගය බොක්සිං ඉතිහාසයේ පොහොසත්ම තරගය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා