ජූඩෝ සංගමයටත් අතුරු කමිටුවක්..?

ජූඩෝ සංගමයටත් අතුරු කමිටුවක්..?

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ පසුගිය වසර ගණනාවක කාලයක් තුල සිදුවී ඇතැයි කියන විවිධ මුල්‍යමය අක්‍රමිකතා හේතුවෙන් පාර්ශව කිහිපයක් නඩු මගට පිවිස සිටින බැවින් මේ වසරේ ජූඩෝ නිලවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ජූඩෝ සංගමයේ ලේකම් මේජර් තරිඳු වීරසිංහ මහතා පවසයි.

ජූඩෝ සංගමයේ වත්මන් සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව වංචා විමර්ශන අංශයේ හා අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බවත්, මීට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයට ව්‍යාජ අයවැය ලේඛන ඉදිරිපත් කොට මේ වසරේ ජූඩෝ නිලවරණය පැවැත්වීමට සභාපති හා උපලේකම් නාමයෝජනා කැඳවීම සම්බන්ධව ජූඩෝ සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන නිහාල් බාලසූරිය මහතා ගොනු කළ නඩුවක් ද විභාගවෙමින් තිබෙන බවත් වීරසිංහ මහතා ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය. මෙවැනි කරුණු ගණනාවක් නිසා මෙවර නිලවරණය පැවැත්වීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇතැයි ඒ මහතා කීවේය. මීට අමතරව ජූඩෝ සංගමයේ හිටපු නිලධාරීන් රැසකට එරෙහිව විවිධ චෝදනා ගොනුවී තිබේ.

‘පසුගිය කාලය තුල ක්‍රීඩා අමාත්‍යංශය මගින් අනාවරණය කරගත් කරුණු මත ජූඩෝ සංගමයේ ඇතිවූ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීමට එම සංගමයේ ලේකම්වරයා ලෙස මා වෙත උපදෙස් ලබා දුන්නා. නමුත් ඒ කරුණු පිළිබඳ සොයා බැලීමට වත්මන් සභාපතිවරයා ඇතුළු ඔහුට හිතවත් ජූඩෝ සංගමයේ නිලධාරීන්ගෙන් විවිධ බාධා එල්ලවුණා. සභාපතිවරයාට විරුද්ධව චෝදනා රැසක් එල්ලවී තිබෙනවා. පසුගිය කාලය තුල ඔහු ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගතකිරීමට හා ජාතික පුහුණුකරුවකු පත්කිරීමට බාධා කිරීම සම්බන්ධව මා මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශයට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා’ මේජර් තරිඳු වීරසිංහ මහතා පැවැසීය.

මෙවර ජූඩෝ නිලවරණයේ දි සභාපති තනතුර සඳහා නාමයෝජනා බාරදීමට තමා සූදානමින් සිටිය දී විධායක කමිටුවේ පවා අනුමැතියකින් තොරව වත්මන් භාණ්ඩාගාරික මගින් ව්‍යාජ අයවැය වාර්තාවක් සකස්කොට ක්‍රීඩා අමාත්‍යංශයට බාර දී නාමයෝජනා කටයුතු කිරිම සම්බන්ධව ද සභාපතිවරයාට හා උපලේකම්වරයාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

‘මේ අයවැය වාර්තාව අසත්‍ය එකක් බව ක්‍රීඩා අමාත්‍යංශය දැනුවත් වී සිටිනවා. ඒ වගේම නාමයෝජනා කැඳවීමට උපලේකම්වරයාට කිසිදු බලයක් නෑ. සංගමයේ ලේකම්වරයා ලෙස මා හට හිමි බලතල ඔහු අනිසි ලෙස භාවිතා කිරීම නීතිවිරෝධි ක්‍රියාවක්. දූෂිත නිලධාරීන්ගේ මේ ක්‍රියා කලාපය නිසා පීඩාවට හා අපහසුතාවට පත්වන්නේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඒ නිසා සියලු කරුණු සැළකිල්ලට ගෙන ජූඩෝ සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම සම්බන්ධව මා ක්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් ඉල්ලා සිටියා.

නමුත් මේ වනතුරු ඒ සඳහා උපදෙස් ලැබුණේ නෑ. ලබන මස 15වැනිදාට පෙර නිලවරණය පැවැත්විය යුතුයි. නමුත් දැන් නිලවරණය කැඳවීමට කාලයක් නෑ. ඒ නිසා බොහෝ විට ජූඩෝ සංගමය අතුරු කමිටුවක් යටතට පත්වනු ඇතැයි මා විශ්වාස කරනවා’ වීරසිංහ මහතා සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා