ජාතික මෝටර් රථ ධාවන තරග පවත්වා දේශීය ක්‍රීඩකයන් ඉදිරියට ගන්න

ජාතික මෝටර් රථ ධාවන තරග පවත්වා දේශීය ක්‍රීඩකයන් ඉදිරියට ගන්න

ක්‍රීඩා ඇමැති සංගමයට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ යතුරුපැදි හා මෝටර් රථ ධාවන ශුරයින්ට ඉදිරියට පැමිණිම අරමුණු කර ගනිමින් ජාතික යතුරුපැදි හා මොටර් රථ ධාවන තරගයක් වාර්ෂිකව සංවිධානය කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‍මෝටර් රථ ධාවන සංගමයට දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

මොටර් රථ ධාවන සංගම‍ය හා ක්‍රීඩා සමාජ ශ්‍රී ලංකා යුද හමුදාව සමග ඒකාබද්ධ මෝටර් රථ ධාවන තරග පැවැත් වුවත් යතුරු පැදි ධාවකයින් හා මෝටර් රථ ධාවකයින්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යෑම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවට ‍මෝටර් රථ ධාවකයින් ක්‍රීඩා ඇමති වෙත කරුණු දැක්වීමෙන් පසුව දේශීය යතුරු පැදි හා මෝටර් රථ ධාවකයින්ගේ දක්ෂතා ඉදිරියට ගැනිම සඳහා ජාතික තරගාවලියක් පැවැත්වීමට අමාත්‍යංශයේ අනුග්‍රාහකත්වය ලබා දීමට ක්‍රීඩා ඇමැතිවරයා එකග වී තිබේ.

දීර්ඝ කාලයක් මුලුල්ලේ මෙරට මෝටර් රථ ධාවන තරග සංවිධානය වන නමුත් එම තරගවලින් දක්ෂතා දැක්වීමට විදේශීය තරගකරුවන්ට වැඩි අවස්ථාවක් ලැබීමෙන් ශ්‍රී ලංකාවේ තරගකරුවන්ට ජාත්‍යන්තරයට යාමට තිබෙන අවස්ථා මග හැරෙන බවට මෝ‍ටර් රථ ධාවකයන් අතරින් චෝදනාවක් මෝටර් රථ ධාවන සංගමයට එලල් වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා‍ගේ දැඩි අවදානම යොමු වීමෙන් අනතුරුව මේ තිරණය ගත් බවද අමාත්‍යංශය අවධාරණය කරයි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනිම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් ධාවන පථයක් ඉදි කිරිම කෙරෙහිද අමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා