නංගි පෙන්වා අක්කා දීග දෙන්න හැදූ මඟුල් කපුවාට මනාලයාගෙන් කුඩ පහර

නංගි පෙන්වා අක්කා දීග දෙන්න හැදූ මඟුල් කපුවාට මනාලයාගෙන් කුඩ පහර

වපර ඇසක් නිසා විවාහයක් කර දීමට නොහැකිව සිටි තැණියකගේ රූමත් නංගී පෙන්වා විවාහයක් කරදීමට මගුල් කපුකම් කළ කපු උන්නැහේට ඔහුගේම කුඩය පොඩි වන තුරු තරුණයෙක් පහරදීමේ සිද්ධියක් කෑගල්ලට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.

කෑගල්ලට නුදුරු ගම්මානයක ගොවිතැන් බත් කරමින් යමක් උපයාගෙන ජීවත්වූ පවුලකට ගැහැණු දරුවන් දෙදෙනෙකි. මවුපියන්ට හැකි පමණින් අධ්‍යාපනය ලබාදීමෙන් පසු මෙම දෙදෙනා විවාහ කර දීමට කල වයස උදාවී ඇති නිසා පළමුවෙන් වැඩිමහල් දියණියට විවාහයක් කරදීමට තරුණයෙක් සොයා දෙන ලෙස මගුල් කපුවෙකුගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අනුව මනමාලයන් පස් හය දෙනෙක් පැමිණියත් මනාලියගේ එක් ඇසක් ආබාධිත වීම හේතුවෙන් කිසිම මනමාලයෙක් ඇයට කැමැත්ත ලබාදී නැත. මේ නිසා මෙම තරුණියගේ මවුපියෝ මහත් කනස්සල්ලට පත්වූහ. පසුව මවුපියන් කපු මහතාට කතා කර ඉල්ලන ගානක් දෙන්නම් දුවට මනමාලයෙක් සොයා දෙන ලෙසට ඉල්ලීමක් කළේය. හොඳ ගානක් කපා ගන්නා අදහසින් රූමත් බාල දියණිය පෙන්වා අක්කා කාට හරි බන්දලා දෙමු යයි මවුපියන්ට කපුවා යෝජනා කළේය. එයට මවුපියන්ගේද කැමැත්ත ලැබුණි.

සති දෙකක් පමණ ගත විය. මඟුල් කපු මහතා නිවෙසට මනාලයෙක් කැඳවා ගියේය. කෑම් බීම් වලින් සප්පායම් වී අවසානයේ බාල දියණිය මනාලයාට බුලත් තට්ටුවක් පිළිගැන්වූවාය.මනාලයා සිටි අසුනට ඉදිරිපිටින් තරුණිය වාඩි කරවා පිළිසඳරේ යෙදුණු පසු ඇය විවාහ කර ගැනීමට මනාලයා කැමැත්ත ලබා දුන්නේය. තරුණියගේ ජංගම දුරකථන අංකයද ඉල්ලාගත් මනාලයා තරුණියට නිතර නිතර කතා කළේය.

පසුව දිනක කෑගල්ල නගරයේ ඇති සිනමා ශාලාවකට චිත්‍රපටියක් බැලීමට එන ලෙසට තරුණයා කළ ආරාධනාවට පැමිණියේ තරුණියගේ අක්කාය. මෙහිදී ඔයාට නෙවෙයි එන්න කීවේ. මම එන්න කීවේ නංගිටනේ. ඇයි ඔයා ආවේ යැයි තරුණයා ඇසුවේය. නංගී පෙන්වා අක්කා විවාහ කර දීමට කපුවා කළ මගඩිය හෙළිවූ පසු මනාලයා කපුවා සොයා ගෙන යන අතර කපුවා හමුවී ඔහු අත තිබූ දිග කුඩය උදුරාගෙන කපුවාට පහර කීපයක් ගැසුවේය.‍ මෙය දුටු අසල්වාසින් මගුල් කපුවා බේරා ගෙන ඇත.

මෙම සිද්ධියෙන් ලජ්ජාවට පත්වී සිටින කපු මහතා ගමේ කඩ මණ්ඩියටවත් නොපැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා