අවමංගල සභාවේ දී තාත්තාගේ නුගුණ කීවැයි සමිතියේ ලේකම්වරයාට පුතා පහර දීලා

අවමංගල සභාවේ දී තාත්තාගේ නුගුණ කීවැයි
සමිතියේ ලේකම්වරයාට පුතා පහර දීලා

පරණ කෝන්තර මතක් වී ඇත්තේ වසර තුනකට පසුව හොඳටම වෙරිවූ අවස්ථාවක

තම මිය ගිය පියාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේ පියාගේ “නුගුණ” පැවසීම නිසා කිපුණු වැඩිමහල් පුතා වසර තුනකට පසු, එම සිද්ධිය මතක් කර අදාළ ගමේ මරණාධාර සමිතියේ ලේකම් වරයාට තදබල ලෙස බැණ වැදීමේ පුවතක් පොතුහැර ග්‍රාමීය ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය.

සිද්ධිය මෙසේ ය.ඒබරංසිඤ්ඤෝ ගමේ සිටි කිසිදු කමකට නැති පුද්ගලයෙකි. දරුවන් ද එසේම ය. කිසිදාක පන්සලකට ගොස් නොමැත. දානයක් හෝ හිඟන්නෙකුට බත් පිඩක් ද දී නොමැත. සතුන් මැරිම, මාළු ඇල්ලීම ඔහුගේ කර්මාන්ත විය.

කර්ම ඵල අනුව අවුරුදු 72 ක් ආයු වැළඳූ ඒබරංසිඤ්ඤෝ මිය පරලොව ගියේ ය. අකමැත්තෙන් වුව ද පාංශුකූල කටයුත්ත ට වැඩම වූ පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩි යමක් ප්‍රකාශ නොකර, ආගමික වතාවත් සිදු කර පන්සලට වැඩියහ. ස්තුති කතාව ද සිදු කිරීම ට සිදු වූයේ මරණාධාර සමිතියේ ලේකම් සිරිපාල මහතාට ය.

මට ඒබරංසිඤ්ඤෝ ගැන කියන්න බොහෝ දේවල් නැත. ජීවත් වන කාලයේ දී ගුණ යහපත් ව ජීවත් වීම කාගේත් ඒකායන අරමුණ විය යුතුයි. ඒබරංගේ අවුරුදු 72 ක ජීවිත කාලය ගැන සියලු ම දෙනාම දන්නවා. කෙසේ වෙතත් සමිතිය වෙනුවෙන් ඔහුට නිවන් සුව පතමි යැයි පැවසූ ලේකම් මහතා තම කතාව අවසන් කරන ලදී.

සිද්ධිය සිදු වී වසර තුනක් ගතවූ පසුව ගමේ පොත් සල්පිලක දී හොඳට වෙරි වූ ඒබරංගේ ලොකු පුතා ගමේ සමිතියේ ලේකම් ගේ කමිසයේ බෙල්ලෙන් අල්වාගෙන ‘හොර ලේකමෝ’ තමුසේ අල්ලාගන්න හිටියේ. එදා උඹ මගේ තාත්තාට අවනම්බු කරා. හිටපන් මම අද උඹට හොඳ පාඩමක් උගන්වන්න’ කියා පහරදීමට තැත් කරන ලදී.

පසුව ගමේ අය එකතු වී ඒබරංගේ පුතාට පහර දෙකක් දි ගෙදර රැගෙන යන ලදී. “මං ජීවත්වෙලා හිටියොත් මෙහෙම අසමත්ජාතීන්ට කියන්න වෙන්නේ ද, එදා උන්දැගේ තාත්තා ට කියූ දේම තමයි” යයි සිරිපාල මහතා කාටත් ඇසෙන්න පැවසුවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා