ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටයට විරෝධය පාන්න පාකිස්තානයේ ඊයේ ජාතික නිවාඩු දිනයක්

ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස් චිත්‍රපටයට විරෝධය පාන්න පාකිස්තානයේ ඊයේ ජාතික නිවාඩු දිනයක්

පාකිස්තාන රජය ඉස්ලාම් ආගමික නායක මහමත් තුමා අනුස්මරණය කරනු පිණිස ඊයේ(21)එරට ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඉස්ලාමයට නිග්‍රහ කරමින් නිෂ්පාදිත අමෙරිකානු චිත්‍රපටයට එරෙහි විරෝධතා සාමකාමිව පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.

"ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්" නම් මේ අපහාසාත්මක චිත්‍රපටයට එරෙහිව දහස් ගණන් ජනතාව වීදි බසිද්දි ප්‍රවෘත්ති කටයුතු ඇමති කමාර් සාමන් කායිරා පැවසුවේ මහමත්තුමා වෙත ඇති බැඳීම ප්‍රදර්ශනය කරනු පිණිස සිකුරාදා නිල නිවාඩු දි නයක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයකර තිබූ බවය.

අදාල අපහාසාත්මක චිත්‍රපටය නිසා කැළඹුණු මුස්ලිම් ලෝකයේ දැන් සතියකට වැඩි කාලයක් තිස්සේ පවත්නා ප්‍රචණ්ඩ කාරී විරෝධතාවලදී මේ වනවිට 30 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. පාකිස්තාන රජයේ මේ හදිසි තීරණයට හේතුවී ඇත්තේ පාකිස්තානය පුරා පවත්වන විරෝධතාවන් මෙහෙයවන ආගමික පක්ෂ විසින් අදාල චිත්‍රපටය ට එරෙහිව සිකුරාදා විරෝධතා දිනයක් ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටීම ය.

තවද ඉස්ලාමාබාදයේ විරෝධතාවක නියැලි නීතිවේදීන් කණ්ඩායමක් පෙරේදා අදාල සිද්ධිය සම්බන්ධයෙන් රජයේ නිහඬත්වය පිළිබඳව විරෝධය පල කර තිබිණ‍. ඇමති සාමන් කායිරා පුවත්පත් සාකච්ජාවකදි පැවසුවේ සිකුරාදා ජාතික නිවාඩුදි නයක් බවට පත්කිරීමෙන් පාකිස්තානය අදාල චිත්‍රපටය හෙළාදකින බවට ලෝකයාට පණිවුඩයක් නිකුත් කරන බවය. තවද මහමත්තුමාගේ ගෞරවයට හානිවන එකම වදනක් ‍හෝ නොඉවසන බවද ඉන් ගම්‍ය වන බවද ඔහු කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා